ප්‍රවාහන සේවා සංවර්ධනය බස් රථය හෝදන තැනින් පටන් ගන්න” ප්‍රවාහන බලධාරීන්ට ජනපති කියයි

මගීන්ට යහපත් මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට පසුබිම සකසමින් ප‍්‍රවාහන සේවාව නගාසිටුවීම අරඹන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රවාහන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඉතා කුඩා ආරම්භයකින් ලොකු වෙනසක් කළ හැකි බැවින් බස් රථය සෝදා පිරිසිදු කර මගීන්ට අසුන්ගෙන යාමට සැලසීම හෙට සිටම අරඹන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

“ඉතා කුඩා ආරම්භයකින් ලොකු වෙනසක් කරන්න පිළිවන්. බස් රථය සෝදා පිරිසිදු කර මගීන්ට අසුන්ගෙන යාමට සැලසීම හෙටම පටන් ගන්න” ජනාධිපතිතුමා උපදෙස් දෙයි.

ප‍්‍රවාහන අමාත්‍යාංශයේ සහ රථ වාහන නියාමනය, බස් රථ ප‍්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

මෝටර් රථයෙන් පැමිණ එය නතර කර බස් රථයෙන් සේවා ස්ථානයට ගමන් කිරීමේ පාර්ක් ඇන්ඞ් ඩ‍්‍රයිව් ක‍්‍රමය කඩිනමින් කි‍්‍රයාත්මක කර මාර්ග තදබදය විසඳීමේ අවශ්‍යතාව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

”දුම්රිය සහ බස් රථ ඒකාබද්ධ සේවා සහ බස් රථ ඒකාබද්ධ ධාවන කාලසටහන නොපමාව ආරම්භ කිරීමට සහ කාර්යක්ෂම මගී ප‍්‍රවාහන සේවාවක් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයටම පෙර ගෙවුම් කාඞ්පත් ක‍්‍රමය කඩිනමින් හඳුන්වාදීමට ද එහිදී තීරණය කර තිබෙනවා.

හොඳ තත්ත්වයේ ඇති සාමාන්‍ය බස් රථ අධිවේගී මාර්ගයේ ධාවනයට එක් කිරීමෙන් අඩු මුදලකට මගීන් විශාල පිරිසකට ගමන් පහසුකම් සැලසීමේ හැකියාව ද ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.