අධිකරණ වෛද්‍යවරියගේ කතාව

දස මසැති කිරි කැටි බිලිඳු දියණිය ගෙවත්තේ තිබුණ ලොකු වතුර වළකට වැටී පාවෙමින් සිටින අයුරු දුටු මව දරු සිඟිත්තා බේරා ගැනීමට වතුර වළට පැන ඇත්තේ දෙවරක් නොසිතාය. ලෝකයේ තිබෙන ලොකුම වේදනාව ලෙස සැලකෙන්නේ ප්‍රසූත වේදනාව යැයි කියති. ප්‍රසූත වේදනාව විඳ මෙ​ලොවට බිහි කර තම ලේ කිරට හරවා පෙව් මවකට තම දරුවකුට යම් කරදයක් විපතක් සිදු වූ අවස්ථාවක දී තම ජීවිතය ගැන මොහොතකටවත් නොසිතා ඉදිරිපත් වන්නේ දරු කැක්කුම නිසාය. වතුර වළට පැන සිඟිති දියණිය අතට ගත් මව එයින් ගොඩට ආවේ ලොකු වෙහෙසක් දරාය.

දරුවා දෝතට ගත් මව ගම දෙවනත් වන අන්දමින් කෑ ගැසුවේ හදවතේ බුර බුරා නගින වේදනාව අතරින්ය. රෝස පොහොට්ටුවක් බඳු වූ සිඟිත්තිය ඒ වන විටත් සිටියේ සිහිසුන්වය. මුළු ඇඟම සීතල වෙලාය. කිසිම හැල හොල්මනක් නැත. මවගේ කෑ ගැසීම ඇසී අහල පහළ උදවිය. එතැනට දිව ආවෝය. වහා ගිනි මැලයක් ගැසූ ගමේ උදවිය දරු සිඟිත්තිය එය ළඟට කිට්ටු කළ අතර තවත් කිහිප දෙනෙක් ඇඳ ඇතිරිල්ලක් ඒ ගිනි මැලයටම අල්ලා රත් කර සිඟිත්තියගේ සිරුර වටා දැවටුවේ ඇය උණුසුම් කිරීමටය.

රෝහලක සාත්තු සේවිකාවක් ලෙස සේවය කරන කාන්තාවක් ද එතැනට පැමිණි අතර ඇය දරුවා පරීක්ෂා කර බලා කියා ඇත්තේ වෙන්න ඕන හරිය වෙලා ඉවරයි යැයි කියාය. එතැනට රොක් වී සිටි පිරිස අතරේ සිටි කිහිප දෙනෙක්ම ද සිඟිත්තිය අත පත ගා කියා ඇත්තේ ද ඇය මෙලොව හැර ගොස් ඇති බවය. දැන් ඉස්පිරිතාල ගානෙ ගෙන ගිහින් වැඩක් නැහැ. ඉතිරි වැඩ කටයුතුවලට ලෑස්ති වෙමු කියා තවත් කිහිප දෙනෙකුම පවසා ඇත්තේ නිසැකවම ඇය මිය ගොස් ඇති බවට නිගමනය කිරීම නිසාය. දස මසක් කුසේ හොවා මෙලොවට බිහි කළ දරු පැටියා මිය ගොස් ඇති බව ඇසීමෙන් මවක් කෙසේ නම් ඉවසා සිටින්න ද?

ඒ වේදනාව මහ මෙරටත් වඩා උසය. හදවත පැළී යන්නා සේ ඇයට දැනී ඇත්තේ දරු දුක වවා ගත නොහැකිවය. ඒ ගමේම පදිංචි තරුණයෙකු වූ නීල් ජයතිස්ස එතැනට ආවේ ඔය අතරවාරයේය. අක්කේ මොකකට හරි අපි දරු පැටියාව ඉස්පිරිතාලෙට අරගෙන යමු යැයි කියා දරුවාගේ මවට යෝජනා කර තවත් මිතුරෙකු ද කැටිව දරු පැටියා මීරිගම රෝහලට රැගෙන ගියේය. කුමන බලමහියෙන් දෝ මැරුණා යැයි සිතූ සිඟිත්තිය යළි උපන්නේ වෛද්‍ය ප්‍රතිකාරවල හොඳටය. සති දෙකක පමණ කාලයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ සිඟිත්තිය ගෙදරට කැඳවාගෙන ආවේ ඇයගේ පවුලේ සියලු දෙනාගේම සතුටු කඳුළු මැද්දේය.

කිරි කැටි මුව අයාගෙන සිඟිත්තිය සිනාපාද්දි ගෙදර උදවියගේ සිත් සතන් තුළ ඇති වූ සතුට කියා නිම කිරීමට නොහැකි විය. මව හා පියා සිය සිඟිති දියණියගේ රෝස පැහැති දෙකොපුල් සිප ගත්තේ අපිට වාසනාව ගෙනා වාසනා දෝණි යැයි පවසමිනි. ඇයගේ උප්පැන්නයේ සඳහන් නම නදීකා මුණසිංහ වුවත් එදා පටන් කොයිකවුරුත් ඇයට කතා කිරීමට පටන් ගත්තේ වාසනා කියාය. අදටත් ගමේ අය ඇයට කතා කරන්නේ වාසනා කියාය. ඒ නමට ඇයත් හරිම කැමතිය. මැරුණා යැයි තීරණය කර සිටිය දී යළි ජීවිතය ලැබූ නදිකා එහෙමත් නැත්නම් වාසනා වෛද්‍යවරියක වීමට තරම් වාසනාවන්තියක වූවාය. නදීකා මුණසිංහ මහත්මිය වර්තමානයේ සේවය කරන්නේ දඹදෙණිය අධිකරණ වෛද්‍ය නිලධාරිනිය ලෙසය.

නදීකා හය වැනි වසරේ ඉගෙනුම ලැබූ කාලයේ කෝච්චියකට හැප්පීමට ගොස් ජීවිතය බේරාගෙන ඇත්තේ ද අහම්බයකිනි. සීතල මරණයේ දොරටුව අභියසටම ගොස් දෙවරක්ම ජීවිතය බේරා ගත් නදීකා දොස්තර මහත්මිය විවාහ වී මේ වන විට දියණියන් තිදෙනෙකුගේ දයාබර මවක වන්නීය. සිඟිත්තිය වතුර වළට වැටුණෙ 1979 වසරේ අග භාගයේ දීය. ඒ වන විට නදීකා ඇයගේ සහෝදර සහෝදරියන් ද මව හා පියා සමග පදිංචිව සිට ඇත්තේ වේයන්ගොඩ පල්ලේවෙල බෝරුක්ගමුව කියන සුන්දර ගම්මානයේය.

දඹදෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය ලෙස සේවය කරන නදීකා මුණසිංහ මහත්මිය පදිංචිව සිටින ගිරිඋල්ල පුස්කොළදෙණිය පිහිටි නිවස සොයා පසුගිය අඟහරුවාදා අප ගියේ ඇය ගැන යමක් ඉරිදා ලංකාදීපය වෙනුවෙන් ලියන්නටය.වෛද්‍යවරියගේ සැමියා හා වෛද්‍යවරියගේ මව අපව පිළිගත්තේ බොහොම ළෙන්ගතුවය. විදුලි බල මණ්ඩලයේ ​ෆෝමන්වරයකු ලෙස සේවයකර විශ්‍රාම ගොස් සිටින වෛද්‍යවරියගේ පියා වන නන්දසිරි මුණසිංහ (76) මහතා අප යන විට නිවසේ සිටියේ නැත.

අප මුලින්ම කතා බහ කළේ අධිකරණ වෛද්‍ය නිලධාරිණියගේ මව වන ඩබ්ලිව්.කේ. ප්‍රේමවතී (68) මහත්මිය සමගය. සතළිස් වසරකට පෙර සිදු වූ ඒ සිද්ධිය ප්‍රේමවතී මහත්මිය මෙසේ මතකයට නගා වචනවලට පෙරළුවේ කිසිදු ආයාසයකින් තොරවය. මම එදා පුතාට බෙහෙත් ගන්න ඉස්පිරිතාලයට යන්න ලෑස්ති වෙමින් සිටියා. ඒ අතරවාරයේ දුව කෝ කියා හොයලා බැලුවා. දුව පේන්න හිටියේ නැහැ. මව දුව හොයන්න පටන් ගත්තා. ඒ වෙනකොට දුවගේ වයස මාස 10ක් වෙනවා. ගේ පිළිකන්න ළඟ ලොකු වළක් තිබුණා. අලුතින් හදන ගෙදරට පස් ගන්න තමා ඒ වළ කපා තිබුණේ වැස්සට ඒ වළේ වතුර පිරිලා තිබුණේ. මම වතුර වළ ළඟට දිව්වා. දුව වතුර මතුපිට පාවෙමින් තිබෙනවා දැක්වා. මම වතුර වළට පැන්නා වතුර වළ මගේ උසටත් වඩා ගැඹුරුයි. මම දරුවා අතට අරගෙන ගොඩින් තිබ්බා. ඊට පස්සේ මම බොහොම අමාරුවෙන් වතුරෙන් ගොඩට ආවා. මම දුව දෝතට අරගෙන යටිගිරියෙන් කෑ ගැසුවා. එතකොට දුවට කිසිම සිහියක් තිබුණේ නැහැ. ඇඟ සීතල වෙලා තිබුණ. මගේ කෑ ගැසීම ඇසී අහල පහළ අය දුවගෙන ආවා. ගිනි මැළයක් ගසා දුවට උණුසුම ලබා දුන්නා. බෙට් ෂීට් එකක් රත් කර එයින් ද දුව උණුසුම් කළා.

ඉස්පිරිතාලයක වැඩ කරන ඇටන්ඩන්ට් කෙනෙක් අපේ ගමේ ඉන්නවා. එයාට ගමේ අය කියන්නේ මිසී නැන්දා කියා. මිසී නැන්දා ඇවිත් දුව පරීක්ෂා කර බලා කිව්වා මිය ගිහින් කියා. මාත් ඒ වෙන කොට හිතාගෙන සිටියේ දුව මිය ගිහින් තමා කියා. එතැනට ඇවිත් හිටිය ගොඩක් දෙනෙක් දුව මියගොස් ඇති බව පැසුවා. දැන් ඉස්පිරිතාලේ අරගෙන ගිහින් වැඩක් නැහැ වියදම් දෙකක් යනවා ඒ හින්දා මළගෙදරට සූදානම් වෙමු කියා. එතකොට තමා නීල් මල්ලි ඇවිත් දුව අරගෙන ඉස්පිරිතාලයට ගියේ.

මීරිගම ඉස්පිරිතාලයේ දී දුවට දොස්තර මහත්වරු ප්‍රතිකාර කළා. වතුර බෝතලයක් දුවගේ බඩෙන් ගත්තා. ඒ වතුරවල තණ කොළ කෑලි හා ගස්වල මුල් කෑලි එහෙම තිබුණා මම හොඳට මතකයි. සති දෙකක් රෝහල්ගතව ප්‍රතිකාර ගත්තා. ඒ සති දෙකම මම දුවත් එක්ක රෝහලේ හිටියා. මැරුණා කියා හිතාගෙන හිටිය දුව යළි ජීවත් වීම ගැන අදටත් මම පුදුමු වෙනවා යැයි ප්‍රේමවතී මහත්මිය කිව්වේ සිය වෛද්‍ය දියණිය දෙස ළෙන්ගතු බැල්මක් හෙළමිනි.

දුවට නිව්මෝනියාව හැදෙයි කියා බෙහෙත් එහෙම විද්දා. නහයට බට එහෙම දාලා තිබුණා. දුව සුවය ලබා සති දෙකකට විතර පස්සේ ගෙදර එක්ක ගෙන එද්දි මගේ තාත්තා වතුර වළ වසා දමා තිබුණා. මේ සිද්ධියෙන් පස්සේ හැමෝම දුවට වාසනා කියා කියන්න පටන් ගත්තා. අදටත් හැමෝම වාගේ කතා කරන්නේ වාසනා කියා. දුවගේ සැබෑ නම හුඟ දෙනෙක් අදටත් දන්නේ නැහැ. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. මේ දුව පවුලේ තුන් වැනියා.

ඒ ප්‍රේමාවතී මහත්මියගේ හඬයි. ඊළඟට අපි හමු වූයේ සිඟිත්තිය රෝහලට රැගෙන ගිය නීල් ජයතිස්ස මහතාවයි. පල්ලේවෙල බෝරුක්ගමුව ගමේ පදිංචිව සිටින නීල් ජයතිස්ස (59) මහතා යක්කල ඉඹුල්ගොඩ සිංහ සමාජයේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා සංචාරක බස් රථ සංගමයේ සභාපතිවරයා ද වන්නේය. ජයතිස්ස මහතා ඔහුගේ මතකය අවදි කළේ මේ අන්දමිනි. මම ගෙදර ඉන්න කොට ප්‍රේමවතී අක්කලාගේ ගෙවල් පැත්තෙන් විලාප හඬක් ඇසුණා. මම ප්‍රේමවතී අක්කලාගේ ගෙවල් පැත්තට දිව්වා. ඒ වෙන කොටත් පොඩි එකාට සිහියක් තිබුණේ නැහැ. එතැන හිටිය හැමෝම කිව්වා පොඩි එකා මිය ගිහින් ඉස්පිරිතාලෙ අරන් යන එක වැඩක් නැහැ කියා. නමුත් මම දරුවා දෝතට අර ගත්තා. එ් කාලේ යාන වාහන අපේ ගමේ තිබුණේ නැහැ. පාපැදියක් ඉල්ලා ගත්තා. ගමේ ඉන්න ජයරත්න මල්ලි පාපැදිය පැද්දා මම පාපැදියේ පොල්ල මත වාඩි වී දරු පැටියා ගේ හිස පහතට සිටින විදියට කකුල් දෙකෙන් අල්ලා ගත්තා. ටික දුරක් යන කොට දරුවා කකුල් දෙක හොලවන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මට හිතුණේ පොඩි එකා මිය ගිහින් නෑ කියා. මට කියන්න බැරි සතුටක් ඇති වුණේ. තව ටික දුරක් යන කොට කාර් එකක් හම්බ වුණා. ඒ කාර් එක නවත්වාගෙන ඒකේ දමාගෙන දරුවා මීරිගම රෝහලට අරගෙන ගියා. එදා දරුවා ගෙන ගිය පාපැදිය පැද්ද ජයරත්න මේ වෙන කොට මියගිහින්. ඒ කාලයේ මගේ වයස අවුරුදු 19ක් විතර වෙනවා. එදා ජීවිතය බේරුණු දරු පැටියා වෛද්‍යවරියක වුණා කියා දැන ගත්ත දවසේ මට ඇති වුණේ කියන්න බැරි තරම් සතුටක්. අදටත් මම මේ පවුලේ අයත් එක්ක සම්බන්ධයි. නිතර යනවා එනවා යැයි නීල් මහතා පැවසීය.

වතුර වළේ වැටී යන්තම් ජීවිතය බේරාගත් පාසල් යන කාලයේ කෝච්චියකට ගැටීමට ගොස් නූලෙන් යළිත් වතාවක් ජීවිතය බේරා ගත් නදීකා මුණසිංහ එහෙමත් නැත්නම් වාසනා වෛද්‍යවරිය සමග අපි අවසානයේ කතා බහ කළෙමු. මට අක්කා කෙනෙක්, අයියා කෙනෙක් ඉන්නවා. මම පවුලේ තුන් වැනි දරුවා මම උපන්නේ 1979 ජනවාරි මාසයේ 07 වැනිදා. මට බාල සහෝදරියක් ද ඉන්නවා. මීරිගම බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ අරණායක මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා තිබෙනවා. මීරිගම ඩී.එස්. සේනානායක මහා විද්‍යාලයට ආවේ උසස් පෙළ කරන්න. උසස් පෙළට වාණිජ විද්‍යාව විෂයන් හදාරන්න තමා බලාපොරොත්තුව හිටියේ. මගේ යෙහෙළියක්ගේ බලවත් ඉල්ලීම මත ජීව විද්‍යාව හදාරන්න තීරණය කළා.

නදීකා වෛද්‍ය විද්‍යාලයට යාමට වරම් ලැබුවේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 9 වැනි ස්ථානය ලබා ගනිමිනි. කොළඹ වෛද්‍ය පීඨයට නදීකා ඇතුළත් වී ඇත්තේ 2000 වසරේ දීය. වෛද්‍ය උපාධිය ලබා ගත් නදීකා කළුබෝවිල, ගම්පහ, කුරුණෑගල යන රෝහල්වල සේවය කර ඇත. දඹදෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය ලෙස නදීකා මහත්මිය සේවය කරන්නේ වසර 08ක පමණ කාලයක සිටය. අධිකරණ වෛද්‍ය නිලධාරිනිය වශයෙන් නදීකා මුණසිංහ මහත්මිය මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ 1,000 කට ආසන්න සංඛ්‍යාවක් සිදු කර ඇති අත්දැකීම් බහුල වෛද්‍යවරියක වන්නීය.

මි1ය ගිය අයගේ පශ්චාත් ම1රණ පරීක්ෂණ කරද්දී අදටත් මාව පුංචිම පුංචි කාලයේ වතුර වළක වැටිලා මි1ය ගිය බවට ගමේ අය කිව්ව කතාව මතක් වෙනවා. අදටත් මම වතුරට බහින්න එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. මාව වතුර වළක වැටිලා හිටිය කතාව පස්සේ කාලයක අම්මා කිව්වා. ගෙදරට එන අයත් මේ අර වතුරේ වැටිලා මි1ය ගියා කිව්ව ළමයා නේද කියා අහනවා මට තවම මතකයි. මම පුංචි කාලේ හරිම දඟකාරයි. මෝටර් බයිසිකල් පැද්දා. අත්ට්‍රැක්ටර් එළෙව්වා. බයිසිකල් රේස්වලට එහෙම ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා යැයි අධිකරණ වෛද්‍ය නිලධාරිනි නදීකා මහත්මිය අපිත් එක්ක කිව්වේ සිනා සෙමිනි.

මම හය වැනි වසරේ ඉගෙනුම ලබන කාලයේ ඉස්කෝලේ ඇරිලා කෝච්චියෙන් පල්ලේවෙල ස්ටේෂන් එකෙන් බැහැලා පාර මාරු වෙන්න යද්දි ශීඝ්‍රගාමී කෝච්චියකට යටවෙන්න ගිහින් පුදුම බේරිල්ලක් බේරුණේ. කෝච්චියත් නැවැත්තුවා. මාත් එක්ක ආපු පාසල් මිතුරියෝ අහක බලාගෙන. ඒගොල්ල හිතලා තියෙන්නේ මාව කොච්චියට අහුවෙලා සිරුර කෑලිවලට කැඩිලා ඇති කියා. මම කොහොම බේරුණා ද කියන්න දන්නේ නැහැ. මගේ කකුල් දෙක සෑහෙන වෙලාවක් යනකම් වෙවුළුවා අද වගේ මතකයි. මාව කෝච්චියට හැප්පෙන්න ගිහින් යන්තම් බේරුණා කියන ආරංචිය මම ගෙදර යන කොටත් ලැබිලා. දැන් දෙපාරක් යන්තම් ජීවිතය බේරා ගත්තා. තුන් වැනි පාර නම් බේරෙයි ද කියන්න බැහැ. ඒනිසා පරිස්සමෙන් ඉන්න කියා අම්මා හැම වෙලාවකම කියන්න පටන් ගත්තා.

දෙවැනි වරටත් ජීවිතය බේරා ගැනීමට වාසනාව හිමි කරගත් නදීකා එහෙම නැත්නම් වාසනා වෛද්‍යවරිය කීවාය. එදා දඟකාර කෙල්ලක් වූ නදීකා වර්තමානයේ ආගමට දහමට ළැදිව බෞද්ධ පොත පත කියවමින් චාම් ජීවිතයක් ගත කරන්නීය. බුදු දහම ගැන ලියවුණු ඇය සතුව තිබෙන පොත් පත් ගොන්න එයට සාක්ෂි දරයි. ව්‍යාපාරිකයකු වන නලින්ද පියසිරි මහතා සමග යුග දිවි ගමන් ඇරඹූ වෛද්‍ය නදීකා මුණසිංහ මහත්මිය දියණියන් තිදෙනෙකුගේ දයාබර මවක වන්නීය.