ආසියාවේ විශාලම මුඩුක්කුව

ඉන්දියාවේ මුම්බායි නුවර ‘ධරාවි’ පැල්පත් නිවාස නැරඹීමට ගිය සංචාරකයකු තම අත්දැකීම පිළිබව තැබූ සටහනක එසේ ලියා තිබුණි. එම සටහන අවසන් කර තිබුණේ මෙසේය. හැම කෙනෙක්‌ම මිත්‍රශීලියි. කිසිවකු හිඟමන් යදින්නේ නැත. ‘ධරාවි’ ආසියාවේ විශාලතම මුඩුක්‌කුවයි. ඉහත සටහන තැබූ සංචාරකයා ‘ධරාවි’ නැරඹීමට ලොව දසතින් පැමිණෙන දහස්‌ සංඛ්‍යාත සංචාරකයන් අතරින් එක්‌ අයකු පමණි. සංචාරක ව්‍යාපාරය තුළ මෙම නව නැඹුරුතාව විදහාපාන්න වන නමුත් දරිද්‍රතාවයේ සැබෑ තත්ත්වය සියැසින් දැකබලා ගැනීමට සංචාරකයෝ මුඩුක්‌කු කරා ඇදී එති. ‘ධරාවි’ මුඩුක්‌කු අතර වැටී ඇති පටු මාවත් ඔස්‌සේ සංචාරකයන් රැගෙන යැම සංවිධානය කරන එක්‌ සංචාරක වෙබ් අඩවියක සටහන් කර තිබුණේ මෙය ඉන්දියාවේ ජනප්‍රියම සංචාරක අත්දැකීම වන අතර ටාඡ් මහලටත් වඩා ජනප්‍රිය බවය. ඔවුන් එම සටහන තබා ඇත්තේ ට්‍රිප් ඇඩ්වයිසර් වෙබ් අඩවිය උපුටා දක්‌වමිනි. වැඩිම සංචාරකයන් පිරිසක්‌ එන්නේ එක්‌සත් ජනපදය, එක්‌සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රිෂ්ණා පූජාරි පවසයි. ඔහු විදෙස්‌ සංචාරකයන් සඳහා ගමන් සංවිධානය කරන සංචාරක සමාගමක්‌ පවත්වාගෙන යන්නෙකි.

‘ධරාවි’ මුඩුක්‌කු සංචාරය සඳහා මෙම සමාගම විශාල ප්‍රසිද්ධියක්‌ උසුලයි. මගේ සමාගමේ සම අයිතිකරු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්‌. අපි මුඩුක්‌කු සංචාර හඳුන්වා දෙමු කියල ඔහු මුලින්ම යෝජනා කළ විට මට තේරුම් ගන්න බැරි වුණා. මුඩුක්‌කුවක සංචාරකයන්ට බලන්න තියෙන්නේ මොනවද? කියල. පස්‌සේ මම තේරුම් ගත්ත එහි බලන්නත් ඉගෙන ගන්නත් බොහෝ දේ තියෙනවා කියලා. ක්‍රිෂ්ණා පැවසීය. ‘ධරාවි’ මුඩුක්‌කුව පැතිරී ඇත්තේ ‘මුම්බායි’ නුවර මධ්‍යයේ පවතින ඉහළ වටිනාකමක්‌ සහිත බිම් ප්‍රදේශයක්‌ මතය. එහි නිමක්‌ කොනක්‌ නොමැති පටු මං එමටය. පැල්පත් නිවාස පමණක්‌ නොව අනේක විධ වැඩපොළ ද රැසකි. දස ලක්‍ෂයකට ආසන්න මිනිස්‌ ගහනයක්‌ ඒ තුළ දිවි ගෙවති. වැසිකිළි සහ ජල කරාම ඇති බව සැබවි. නමුත් සනීපාරක්‍ෂාව ඉතා පහළ මට්‌ටමකය. වැසිකිළිවලින් පිටවන මළාපවහනය දොරකඩ අද්දරින් ගලා යන්නේ පටු මං දෙපසිනි. මේ පැල්පත්වාසීන් බොහෝ දෙනෙක්‌ මුඩුක්‌කුව තුළම සරුවට කුඩා ව්‍යාපාර කරගෙන යති. එම්බ්‍රොයිඩර් ඇඳුම් ආයිත්තම්, අපනයන තත්ත්වයේ සම් භාණ්‌ඩ, මැටි භාණ්‌ඩ, ප්ලාස්‌ටික්‌ භාණ්‌ඩ මේ මුඩුක්‌කු තුළ නිමැවෙයි. ඉන් ජනිත වන වාර්ෂික ආදායම ඩොලර් මිලියන 650 කට අධික බවට ඇස්‌තමේන්තු සාක්‍ෂි දරයි.

නමුත් මේ මුඩුක්‌කුව තුළ කසළ ශෝධකයෝ ද බොහෝ වෙති. මුම්බායි නගරය පිරිසිදු වන්නේ ඔවුන්ගේ දැතිනි. කම්කරුවන්, කුලී රථ රියෑදුරන් එමටය. මුම්බායි නුවර පැවැත්මට ඔවුන්ගෙන් වන සේවය අති මහත්ය. ඔවුහූ කිසිදා ඇගයීමකට ලක්‌ නොවෙති. විවේකයකින් තොරව ඔවුන්ගේ දෛනික දිවි පෙවෙත ඔහේ ගෙවී යයි. එවන් ජීවන වටපිටාවක්‌ සහිත මුඩුක්‌කුවක්‌ තුළ සංචාරකයකුට වැදගත් විය හැකි අත්දැකීම කුමක්‌ද? අතේ ඇති මුදල අනුව තෝරා ගත හැකි ‘පැකේජ’ වලින් සමන්විත මෙම මුඩුක්‌කු සංචාර ඉතා සංවිධානාත්මකය. අවැසි නම් වායු සමනය කළ ප්‍රවාහන පහසුකම් ද සැපයෙනු ඇත. “අගනා සංස්‌කෘතික හුවමාරුවක්‌” අත්විඳීම සඳහා මුඩුක්‌කු නිවාසයක්‌ තුළ ආහාර වේළක රස බැලීමේ අවස්‌ථාව ද ලබාගත හැකි සංචාරක ‘පැකේජ’ පවතී. ඇත්ත වශයෙන්ම මෙම මුඩුක්‌කු සංචාර බ්‍රසීලයේ සහ දකුණු අප්‍රිකාවේ කලක පටන් පවතින ව්‍යාපාරයකි. එම රටවලට සාපේක්‍ෂව ඉන්දියාවට මෙම සංචාරක පැතිකඩ පැමිණියේ මෑතකදීය. අනෙක්‌ සංචාරකයන් වගේම මමත් ‘ධරාවි’ බලන්න ගියේ මුඩුක්‌කු ජීවිතයේ සැබෑ තත්ත්වය ගැන වැඩි අවබෝධයක්‌ ලබාගන්න. ‘ධරාවි’ තුළ පැය හයක සංචාරයක්‌ කළ මෙලිසා ලිස්‌බෙට්‌ පැවසුවාය. ඇය එම සංචාරයට එක්‌වූයේ 2016 දීය. නමුත් එහිදී අසන්නට දකින්නට ලැබුණු දැ ඇයට ප්‍රශ්නකාරී විය. මුඩුක්‌කු කියන්නේ ප්‍රශ්නයක්‌ නැති දෙයක්‌ ලෙස ඉදිරිපත් කෙරුණා. දුප්පත්කම සාමාන්‍ය දෙයක්‌ නැත්නම් ස්‌වභාවික දෙයක්‌ ලෙස පෙන්නුම් කෙරුණා. ඇතැම් විට එය සත්‍යයට වඩා අලංකාරයට බර කොට හුවා දැක්‌වූවා” ඇය ප්‍රකාශ කළාය