දෝලි බිසෝවරුන්

රාජකාරිය සහිත සබරගමු නින්දගම් හිමිවුණේ උඩරට මහ වාසලේ නිලමේවරුන්ටය. මෙම නිලමේවරුන් සියලු දෙනාම සිංහලේ යුද හමුදාවේද අණදෙන නිලධාරීන් හෙයින් රණබිම දස්කම් පෑ නිලධාරීන් මෙම වරප්‍රසාදය ලබන්නට ඇත. නින්දගම් හිමියා ප්‍රාදේශීය පාලකයකුට සමානය. ඔහු තමාට අයත් සියලු ඉඩකඩම්වල ජීවත්වන ජනයාගේ ප්‍රධානියාය. ඔවුන්ගේ නඩුහබ විමසා තීන්දු දෙන නඩුකාරයාය. නින්දගමේ ජීවත්වන ඒ ඒ කුලවලින් අයබදු ගෙන උඩරට මහවාසලට ගෙනගොස් දෙන බලවතාය. කොටින්ම කිවහොත් රජ්ජුරුවන් වෙනුවෙන් ඒ ඒ ගම්බිම් පාලනය කරන බලවතාය. මෙකී නින්දගම්වල ජනයාට උඩුකය වස්ත්‍රයක් ඇඳීමට අවසරයක් නැත. එවැනි අවසරයක් ඇත්තේ වලව්වේ ඥාති පරපුරට සහ ගොවිගම කුලයේ අයට පමණය. මේ හැර නින්දගමේ හැම සෙසු කුලයකම පිරිමින්ද ගැහැනුන්ද විලි වසා ගත්තේ යටිකයට පමණි.

නින්දගමක් පවරා ​ෙදන්නේ සන්නසකිනි. කෑගල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ඉඩම්වලද උඩරට ප්‍රධානීන් සඳහා නින්දගම් ලෙස පවරා දී තිබිණි. මේ වනවිට රාජ්‍ය ලේඛනාගාරයේ ඇති සන්නස් හා විවිධ පුද්ගලයන් සතුව ඇති සන්නස් අනුව කෑගල්ලේ සන්නස් 29ක්ද රත්නපුරයේ සන්නස් 47ක්ද හඳුනාගෙන ඇත. යම් පුද්ගලයකුට සන්නසක් දීමේ බලවතා රජතුමාය. රජතුමා රන්පත්, රිදීපත් හෝ තඹපත්වලද වැටකේ හෝ තල්පත්වලද තම රාජකීය සන්නස ඔබ්බවා ලබාදෙන යම් ප්‍රදානයක් සන්නස ලෙස සැලකේ. පැරණි කාලයේ මෙවැනි ප්‍රදානය ලබාදුන් තවත් ක්‍රමයක් වන්නේ කුඩපත් මගිනි. කුඩපතක් යනු රජවාසලේ ඇති සන්නසේ පිටපතක් දිසාවේවරයකුගේ අත්සනින් යුතුව ලබාදෙන සහතිකයයි. සන්නසින් යම් ප්‍රදානයක් කළද එම සන්නස අනතුරුව රාජ ලේඛනාගාරයේ ආරක්ෂාව යටතට යැවුණි. නින්දගම් හිමිකරුට ලැබෙන්නේ එහි පිටපතය.

ලංකාවේ වලව් හිමිකාරයන් සිටුවරුන් ලෙස හැඳින්වීමේ ද වරදක් නැත. උඩරට රාජධානි සමයේ මේ වලව් හිමි හැමදෙනාම උඩරට මහ වාසලේ නිලමේවරු හෝ උඩරට හමුදාවේ ප්‍රධානිවරු වූහ. එකල උළු සෙවිලි කළ වහලකින් යුතු නිවසක් තනා ගැනීමේ භාග්‍ය හිමි වී තිබුණේ මෙම රදලයන් ප්‍රමුඛ ඉහළ කුලවතුන්ටය. ඔවුන්ට සුදුහුණු කපරාරුවක් කළ බිත්තියෙන් යුතු නිවසක් තනාගැනීමට රජුගෙන් අවසර තිබුණද රටේ සෙසු පුරවැසියන් සියලු දෙනාටම තිබුණේ ඉලුක් හෝ තල් අතු හෝ පොල්අතු හෝ සෙවිලි කළ නිවෙසක් තනාගැනීමේ අවසරය පමණි. එම නිවසකට තිබුණේ එක කාමරයකි. ගඩොලින් බිත්ති බැඳ ගැනීමද ප්‍රභූවරුන්ටම අයත් වරප්‍රසාදයක් විය. එතෙක් වරිච්චි බිත්තියෙන් බැඳ ඉලුක් හෝ අතු සෙවිලි කළ නිවෙසක ජීවත්වූ රටවැසියන්ට ගඩොලින් බැඳ උළු සෙවිලි කළ නිවෙසක් තනා ගැනීමේ අවසරය ලැබුණේ 1815 බ්‍රිතාන්‍ය පාලනය යටතේය.

එකල උඩරට වලව් අතිවිශාල ප්‍රමාණයේ නිවාස නොවීය. සබරගමුවේ බොහෝ වලව් කාමර පහකට හෝ හයකට සීමා විය. ඇතුළු ගේ සහ පිට ගේ යනුවෙන් හැඳින්වූ මේ කාමර ඇතුළත් නිවාසයට පිටතින් අතු සෙවිලි වූ තවත් කුටි කිහිපක් විය. ඒවා වලව්වේ මෙහෙකාරයන් සඳහාය. වලව්ව අසලම පිහිටියත් ඒවාට උළු සෙවිලි නොකළේ එකල උළු වහල යනු රාජකීය හෝ රදලයන් සඳහාම වෙන්වූ සුඛෝපභෝගී වරප්‍රසාදයක් බැවිනි. බ්‍රිතාන්‍ය පාලනය මෙරට ස්ථාපනය වූ පසු ලන්දේසීන් බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම වලව් සඳහා ලබා ගැනිණි. ඒ අනුව විශාල වලව් ඉදිවිය. 1930 දී පමණ වනවිට ඇඹිලිපිටිය කොලොන්නේ මඩුවන්වෙල වලව්ව කාමර 121කින් යුතුවිය. ඔහුගේ මෙම වලව්ව ඉදිවූයේ දෙවැනි විමලධර්මසූරිය රජුට සුවි​ෙශ්ෂ ත්‍යාගයක්ද වූ ඇලි ගෝනකු (සුදු ගෝනකු) ලබාදීම වෙනුවෙන් ලැබුණු අක්කර 1500කින් යුතු නින්දගමේය.

ඇහැලේපොළ විසඳූ ඉඩම් නඩුවක් ඇමිටියාගොඩ නින්දගමේ ඉඩම් හබයක් සම්බන්ධයෙන් ඇහැ​ෙල්පොළ මහාධිකාරම්ගේ අත්සනින් යුතුව 1811 දී ලබාදී ඇති නඩු තීන්දුවක ​ෙමසේ සඳහන් වේ. සබරගමුව දිසාවෙන් අටකලන් කෝරළේබද මැද පත්තුවෙන් ඇමිටියගොඩ ගමේ වලපොත කුඹුර අරබ්බඩ කුඹුර යන කුඹුරු දෙකට ඇමිටියගොඩ මුදියන්සේත් එම මුදියන්සේගේ සහෝදරිය වූ උක්කු එතනාත් සම්බන්ධයෙන් නඩු පැමිණ සිටියාය. එම යුක්තිය හොඳින් ඇසූ බැලූ තැන ගමට ප්‍රවේණිකාරී වන ඇමිටියාගොඩ එතනා වැදූ මද්දුම එතනා අලකොළ ඇල්ලට දීග දෙමින් හාමිනා කියන දෝනිඇන්දෑ දීග නොගිය නිසා පන්සලේ වත්ත කියන ඉඩමේ ගෙවල් සාදා දෙමින් මෙම කුඹුරු දෙක අයිති කර දුන්නාය. පසු එම එතනාට දරුවන් නැති එම එතනාගේ අක්කා වන මද්දුමා එතනා විහින් වදාපු උක්කු එතනා වන දෝනියැන්දෑ ඇති කරගෙන හාමිනා එතන නහින ආසන්නයේදී මෙම කුඹුරු දෙකත් වත්තත් උක්කු එතනාට අයිතිකර ගම් තල් පොතක් දී තියෙන නිසා වලපොත කුඹුර අරම්බඩ කුඹුර බිජු සෝලමුණේ වපසරියත් පන්සල් වත්තත් උක්කු එතනාට තීන්දුකර ඒ වගත් මෙසේම… රන් ආවුද මණ්ඩපේ ලේකම් ගිලීමලේ බඹර කටුව සාරා මාරු නින්ද විදාන විහාර දේවාල ගබඩා ගම් සහ සබරගමු දිසාව ඇතුළුව මහනුවර මහාධිකාරම් නිලය කරවන ඇහැලේපොළ විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනවිරත්න අමරකෝම් වාහල පණ්ඩිත මුදියන්සේ රාලහාමි වම්හ.

එහෙත් මෙම ඉඩම් හබය සබරගමුවේ ගැටුමක පැටලී සිටි ඇහැලේපොළ යෙදූ උපක්‍රමයක් බව සමහරුන්ගේ මතයයි. නින්දගම් වලව් හිමි තවත් ප්‍රභූ කොට්ඨාසයක් වූයේ දේවාලභාර කපුවාය. පැරණි දේවාලවල කපුරාල ධුරයට පත් කර ගන්නේද රදලයෙකි. ඔහුට කීවේ කපු රදලයා කියාය. ලංකාවේ දේවාල හැදුණේ රජ්ජුරුවන්ගේ බිසෝවරුන්ට හැදුණු දොලක් හෝ ගායක් සංසිඳුවන්නට යාමේදීය. දේවාල හැදුණේ රජ්ජුරුවන් නිසා තුන්දොස් කිපුණු බිසවුන්නාන්සේලාගේ අටෝ රාශියක් ලෙඩ රෝ සමනය කරන්නට යාමේදීය. රජ්ජුරුවන් නිසා බිසොවුන්ගේ තුන්දොස් කිපීම අරුමයක් නොවේ. ඒකට හේතුව රජ්ජුරුවන් හැර කිසිම පිරිමි පුලුටක් මෙම බිසෝවරුන්ට දකින්නටවත් නොලැබීමය. ඇතැම් බිසවුන්නාන්සේලා අන්තඃපුරයට ගාල්වුණේ සිබිඩ්ඩෙන් පොත්ත පනින්ටත් කලිනි. රජ්ජුරුවන්ගේ ඇහැට හසුවීම නිසා හෝ රදලයකුගේ වන්දියකට හිලව් කර ගන්න හෝ එසේත් නැතිනම් කාරියකරවන නිලමෙලාට සිතී උස්සගෙන විත් අන්තඃපුරයට අතහැරි නිසා අන්තඃපුරගේ සිරවී සිටින බිසවුන්නාන්සේලාගේ තනිකං දෝෂ නිසා අටෝරාශියක් ලෙස රෝග ඇතිවුණේ රාජකීය වෛද්‍යවරයාට බෙහෙත් කරන්නට බැරි ගාණටය. තුන්දොස් කිපුණු වෙලාවට ආරක්ෂාවට ඉන්න අයවත් අන්තඃපුරයට ගෙන්නා ගන්න බැරි වන්නේ ඒ හැම කෙනාගේම අංගයක් දෙකක් ඡේදනය කර තිබෙන නිසාය. සමහර බිසවුන්ට රාජකීය ශරීරයේ ස්පර්ශය ලැබෙන්නේ අවුරුද්දකට දෙකකට වරකි.

කපු රදලයා බිහිවූයේ මේ හිස් තැන පිරවීම සඳහාය. රජ්ජුරුවන් වහන්සේට පමණක් රිංගීමේ බලය තිබෙන ලැගුම් ගෙවල්වලට රිංගන්න බලයත් සමග කපු රදලයා බිහිවුණේ රජ්ජුරුවන්ගේ් පූර්ණ ආශිර්වාදයෙනි. අංග ඡේදනයක් කර නැති නිසා රජ්ජුරුවන් වහන්සේ වෙනුවෙන් ඒ රාජකාරිත් ඉටු කරමින් කපු රදලයා බිසවුන්නාසේලාගේ කිපුණු තුන්දොස් සමනය කරමින් හෝරා ගණන් කතා බහ කරමින් කිල්ලට අහුවෙන තැන් පවා දෙහි තබා කපමින් බිසවුන්ගේ ඕනෑම තනිකං ​ෙ‌ද‌ා්සයක් සමනය කරන්නට දක්ෂය. රදලයෙක් නිසා බිසවකට හදිසියක් වුණත් අවුලකුත් නැත. මහා බල සම්පන්න දෙවිවරුන් වැඩ සිටින නිසා කපු රදලයාගේ කුටියට බිසවුන්නාන්සේ හැර අවශේෂ සේවක සේවිකාවන් යන්නේද නැත. රදළයකු නිසා රාජකීය ලේත් ඇත. කපු රදලයා ද තම පරම්පරාව වර්ධනය කරමින් සීග්‍රයෙන් බෝ වෙන්නට පටන් ගත්තේය. රජ්ජුරුවන්ට යුද්ධ භූමිවල මාස ගණන් කල්ගත කරන්නට පුළුවන් වූයේ තම යහන් ගබඩාවේ දුක සැප සොයන්නට තමන්ගේම ලේ ඇති කපු රදලයන් සිටිය නිසාය.

රජ්ජුරුවන්ටත්, රදලවරුන්ටත් අන්තඃපුර තිබිණි. මේවාගේ සේවයට කුදලාගෙන ආ දැරියන් අනීවාරතේ නාකිවීමේ පල ප්‍රයෝජනය ගන්නේ මේ කපු රදලයාය. රාජකීය ශරීරයේ ස්පර්ශය නොලැබීම නිසා තනිකම් දෝෂයට ලක්වන බිසෝවරුන්ගේ ලෙඩ සුව කරන්නට එන කපු රදලයාගේ පියකරු සිරුර දකින බිසෝවරු එම දැකුමෙන්ම තම ලෙඩ සුවකර ගනිති. ඔහු දවසක් පැමිණ ගියත් බිසවගේ ලෙඩය සනීපය. ඊළඟට අසනීපය හැදෙන්නේ අනික් බිසවකටය.

රජවරුන්ගේ දෝලි බිසෝවරුන්ට ලැබෙන දරුවන්ට රාජකීය සිංහාසනයේ උරුමක්කාරකම නැතත් රජතුමාගේ ආදරය ලැබේ. ඉන්න හිටින්න ගම්වරයක්ද ලැබේ. ඉන්පසු මහ වාසලේ සේවයට යන නිලමේවරුන් වන්නේ මේ අය ය. චක්‍රයක් හැටියට මෙය සිදුවෙයි. උඩරට සිටි බොහෝ නිලමේවරුන්ද අන්තඃපුරවාසී දෝලි බිසෝවරුන්ට ලැබුණු දරුවන්ය. ගම්මාන පිටින් රදළයන්ට පවරා දුන් ඒ කාලයේ සෑම කටයුත්තකදීම නින්දගම් වාසීන් වලව්වට ගොස් බණ්ඩර හාංදුරුවන් බැහැ දැකිය යුතු විය. සමහර රජවරුන් ගම්වර ලෙස පිදුවේ හිස් ඉඩම් නොවේ. ජනාවාසත් එක්කය. නින්දගමක් ලැබුණු පසු වලව්වේ මෙහෙය සඳහා ඒ ඒ කුලවල පවුල් පිටින් කුඩා ඉඩකඩක පදිංචි කර ගැනෙයි. වලව්වේ මෙහෙයට ආ හැම පවුලකම අයිතියද වලව්වේ හාංදුරුවන්ටමය. එළිබැහීමේ සිට බත් මුඛය පාදාගැනීම දක්වාම කෙරුණේ බණ්ඩර හාංදුරුවන්ට වුවමනා ආකාරයටය.

නින්දගම් ඉඩම්වල ජීවත්වන මිනිසුන් තමා උපයාගන්නා සියලු දෙයින්ම කොටසක් වලව්වට වෙන්කළ යුතුය. දඩයමක් කළත් එයින් කොටසක් වලව්වට අයිතිය. එයට කියන්නේ ගංගාතය ය. ගංගාතය යනු වලව්වේ කොටසය. ඕනෑම නින්දගමක දඩයමක් වුවහොත් නින්දගම් හිමියාට කොටසක් වෙන්කළ යුතුය. කකුල් දෙකේ සතකු නම් දකුණු කකුල සමග මස් කොටසක් වලව්වටය. කකුල් හතරේ සතකු නම් දකුණු ගාත් දෙකම කපා වලව්වට ගෙනගොස් දිය යුතුය. එසේ නොවී නින්දගම් වාසීන් තනියම දඩයමක් භුක්ති විඳින්නේ නම් දඬුවම් දීමේ බලය ද නින්දගම් හිමියාට ඇත.

සතා දඩයම් කළ තැන සිට හම ගසා තම තමන්ට හිමි කොටස් වෙන් කෙරෙයි. ඉන්පසු ඒ කොටස් ඔතන්නේ කටුකිතුල් කොළේකය. කටුකිතුල් කොළයක ඔතාගත් විට ඕනෑම දිය ගොඩ මසක් දුගඳක් හමන්නේ නැතිව දවස් දෙක තුනක් වුවත් තබාගත හැකිය. කටුකිතුල් කොළයේ ඔතන්නේ තව් ගැසීමෙන් පසුවය. තව් ගැසීම හැම කෙනාටම කළ නොහැක්කකි. සතාගේ ලෝම පිළිස්සෙන්නටද වුවමනාය. මාශය කුණුවීමකට පණුවන් ගැසීමකට ඉඩ නොලැබෙන සේ මඳක් තැම්බීම තව් ගැසීමෙන් කෙරෙයි. දෙතුන් පැත්තට පෙරලමින් ගංගාතය තව් ගසා ගන්නට හැකි වන්නේ පළපුරුදු දඩයක්කාරයකුටය. නින්දගම්වල පිරිමි ගොවිතැනටද දඩයමට ද එක ලෙසම සමර්ථකම් දැක්වූ හෙයින් බණ්ඩර හාංදුරුවන්ට දෙන කොටස හරි විදියට තව් ගසා ගැනීමට මහ වෙලාවක් ගියේ නැත.

ගංගාතය ගෙන ආ යුතු වන්නේද දඩයම කළ තැනැත්තාමය. ගංගාතය ගෙනැවිත් වලව්වට භාරදෙන ක්‍රමයක්ද තිබේ. කාගේවත් අතට දීමක් නැත. වලව්වේ කොටන ගේ ඇත්තේ මහ වලව් ගොඩනැගිල්ලට යාබදවය. එයට කොටන ගේ කියන්නේ වී කොටන තැන නිසාය. මුරුතැන්ගේ සහ කොටනගේ වෙන් වෙන්නේ එක බිත්තියකිනි. මහ වලව්වට යාබදව මුරුතැන් ගේ ද එයට ම යාබදව කොටන ගේ ද ඇත්තේ පුරාණ කාලයේ පටන් එන චාරිත්තර නිසාය. කොටන ගේ බිත්තියක සුවිසල් ගෝන අං තට්ටුවක් එල්ලා තිබේ. එම ගෝන අඟේ කොටසක් කපා ඉවත් කර ඇත්තේ බිත්තියට සවිකර ඇති කොටස කොක්කක් සේ සිටින අන්දමිනි. පදම් කළ හීන් වේවැලක් ගෝන අඟේ එල්ලා තිබේ. ගංගාතයේ හිමි තැන එතැනය. කටු කිතුල් කොළයෙන් ඔතා ඇති මස් කොටස බණ්ඩර හාංදුරුවන්ගේ පරිභෝජනයට ගැනීම සඳහා වලව්වට භාර දෙන්නේ මේ වේවැලෙන් කපා දැමූ ගෝන අඟේ ගැට ගසා එල්ලීමෙනි. ඉන්පසු එතැනම ඇති සීනුවේ ලණුව ඇද තමා ගංගාතය ගෙනැවිත් එල්ලූ බව වලව්වේ උදවියට දැනුම්දිය යුතුය.

නින්දගම්වාසීන් වසරකට වරක් බණ්ඩර හාංදුරුවන් බැහැ දැකීමට යාමද තවත් චාරිත්තරයකි. ඒ යනවිට දැකුම් අතක්ද රැගෙන යා යුතුය. සබරගමුවේ සමහර නින්දගමක මෙවැනි පිරිස් පොදුවේ හැඳින්වුණේ ගම්වසම නමිනි. මේ ගම් වසමේ අය අවුරුද්දේ තුන් හතර වතාවක් වලව්වට දැකුම් කත් ගෙන ආ යුතුය. මාස්පතා එක දැකුම් කදක්ද සිංහල අවුරුදු සමයට පෙනුම් කත් නමින් තවත් කදක්ද ගෙන ආ යුතුය. මෙම දැකුම් කත් සඳහා ගෙන එන්නේ තම ඉඩම්වලින් ලබාගත හැකි පලතුරු භවභෝග සහ රසකැවිලිය.

1948 නිදහසෙන් පසු කාලය වනවිට නින්දගම් වාසී ජනී ජනයා තම ස්වාමිවරුන්ට එරෙහි යම්යම් මතවාදවලට පැමිණ සිටියහ. නින්දගම් හිමියන් ප්‍රභූ පක්ෂයේ දේශපාලනය වූ එක්සත් ජාතික පක්ෂයට ළැදිව කටයුතු කරද්දී නින්දගම්වාසී තරුණ පිරිස 1952 බිහිවූ ශ්‍රිලනිපය වටා ඒකරාශිවෙමින් සිටියහ. 1956 බණ්ඩාරනායක මහතාගේ ජයග්‍රහණයත් සමග නින්දගම් හිමිකරුවන්ට එරෙහිව දේශපාලන හිරිහැරද සිදුවිය. ඒ වනවිට සමහර නින්දගම් හිමියන්ගේ ආදායම් මාර්ග ඇහිරී ඒවා විකිණෙමින් තිබිණි. මෙහි අවසානය උදාවුණේ 1972 දී එවකට රජය මගින් සම්මත කළ ජනරජ ව්‍යවස්ථාව මගිනි. මේ අනුව එක් පුද්ගලයකුට තබාගත හැකි ඉඩම් අයිතිය අක්කර 50කට සීමා කෙරිණි. ඒ සමගම මෙරට ගම්වර සහ නින්දගම් ක්‍රමයද අහෝසි විය. එහෙත් දේවාල සඳහා පවරා දුන් ඉඩකඩම් සඳහා එහි පදිංචිකරුවන් වාර්ෂිකව රාජකාරී කළ යුතු අතර රාජකාරි නොකරන්නේ නම් ඒ වෙනුවෙන් මුදලක් අදාළ ආගමික ස්ථානයට ​ගෙවිය යුතුය. ප්‍රේමකීර්ති රණතුංග