ගල් යුගයේ මිනිසුන් ජීවත්වෙන දූපතක්

ඔවුහු අතට අසුවන සෑම දෙයකින්ම දමා ගසති. කෑ කෝ ගසති. එහි කිසිදු අර්ථයක් තේරුම් ගත නොහැක. කලබලයෙන් වෙරළ තීරයේ ඒ මේ අත දිව යති. පළා යති. යළි එති. යළි සැඟව සිටියි. කාලවර්ණ උස කෙසඟ මිනිසුන් සහ ගැහැනුන් නි!රුවතිනි. කිසිවකුගේ සිරුරේ වස්ත‍්‍රයක් නැත. මේ අදින් වසර 20,000 ට 30,000 ට පෙර සිටි මිනිස් සමූහයක් නොවේ. වර්තමාන ලෝකයේ ජීවත්වන අපේම වූ මිනිසුන්ය. එසේ වුව ද ඔවුන් අප සියලූ දෙනාගෙන් වෙනස් වී සිටියි. ඒ ඉන්දියන් සාගරයේ ශ‍්‍රී ලංකාවට ඊසාන දිගින් බෙංගාල බොක්කේ පිහිටි කුඩා දූපතක මුළු ලෝකයෙන්ම හුදකලා වීමෙනි. ලෝක සිතියම්වල කුඩා තිතක් මෙන් දැක්වෙන උතුරු සෙන්ටිනල් දූපත ඔවුන්ගේ වාස භූමියයි. හෙලිකොප්ටරයක් පහතින් ගියහොත් මේ මිනිසුන් කෑ ගසන්නේත් අංග චලනයෙන් කියන්නේත් අපි මෙහි සිටිනවා, ඔබ මෙතැනට අවශ්‍ය නැත” යන්නයි. ඔවුහු ගුවන් නියමුවන්ට ඊතල පහර විදියි. අනතුරක් සිදු නොවුව ද ඇතැම් විටක එය මාරාන්තික ප‍්‍රහාරයක් විය හැකිය.මුහුද දෙගොඩතලා ගිය සුනාමියෙන් මිලියන ගණනක් මිනිසුන් විපතට පත්වෙද්දී මහ මුහුද මැද පිහිටි මේ කුඩා දූපතේ මිනිසුන් ආරක්ෂිත වූහ. ඔවුන්ට කිසිදු උපකාරයක් අවශ්‍ය වූයේ ද නැත. පෘථිවි තලයේ සිටින අන් කවර වූ මිනිස් කොට්ඨාසයකටත් වඩා හුදකලාව සිටින ඔවුන් අප‍්‍රිකාවෙන් මතුවූ පළමු මිනිසාගෙන් පැවත එන්නෝ යැයි විශ්වාසයක් ද පවතී. අදින් වසර 60,000ට පමණ පෙරාතුව සිට මොවුන් මේ කුඩා දූපතේ තනිවී සිටියා විය යුතුය. අන්දමන් දූපත් සමූහයේ ගෝත‍්‍රිකයෝ කොතෙක් සිටිය ද ඒ කිසිදු ගෝත‍්‍රිකයකුගේ භාෂාවකට මොවුන්ගේ භාෂාව සමාන වෙන්නේ නැත. භාවිතයන් ද හැසිරීම් ද සමාන වන්නේ නැත. මේ සියල්ලෙන් පැහැදිලි වෙන්නේ අප‍්‍රිකා මහද්වීපයේ සිට ලෝකය පුරා නූතන මිනිසා සංක‍්‍රමණය වූ මුල් යුගයේ දී මේ දූපතට පැමිණ ඔවුන් හුදකලා වන්නට ඇති බවයි. ඒ හේතුවෙන් බාහිර ලෝකයත් සමඟ කිසිදු සම්බන්ධතාවක් නොතිබූ මේ මිනිස්සු අදට ද ගල් යුගයේ ලක්ෂණ සහිතව ජීවත් වෙති. ඔවුන්ට නූතන තාක්ෂණික මෙවලම් නැත. දියුණු භාෂාමය රටාවක් නැත. සංස්කෘතික ලක්ෂණ දියුණු වී නැත. දූපතේ සිටින මිනිසුන් ගැන පර්යේෂණ පවත්වා ඇත්තේ ඉතා සුළු වශයෙනි. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ඔවුන් පූර්ව නියොලිතික යුගයට අයත් අවසන් මානව කොට්ඨාසය විය යුතු බවයි. කිසිදු දිනක දියුණු සමාජ සංස්කෘතීන් සමඟ සම්මිශ‍්‍රණය නොවූ මේ ගෝත‍්‍රිකයෝ දකුණු අප‍්‍රිකානුවන්ගේ පෙනුමෙන් යුක්තය.

ඔවුන් මිනී මස් කන බවට මතයක් ද තිබිණි. එයට ආසන්නම හේතුව වූයේ දූපත ආසන්නයේ මඩ කකුළුවන් ඇල්ලීමට ගිය ධීවරයන් දෙදෙනකු මරා දැමීමයි. රාත‍්‍රියේ මේ ධීවරයෝ ලණුවකින් ගැට ගැසූ විශාල ගලක් උපයෝගී කරගෙන තම බෝට්ටුව නැංගුරම් ලා වෙරි මතින් නිදාගත්හ. නින්දේ පසුවෙද්දී බෝට්ටුව දිය පහරකට හසුව පාවී දූපත අසලට ගොස් ඇත. ධීවරයෝ තම බෝට්ටුව ගිලෙන බව පවසමින් උදව් ඉල්ලා කෑ ගැසුව ද එහි ප‍්‍රතිඵලය වූයේ ගෝත‍්‍රික මිනිසුන්ගේ ප‍්‍රහාරයට ඔවුන් ගොදුරු වීමයි. අනතුරට පත්වූ මේ බෝට්ටුව අදට ද දූපත ආසන්නයේ ගිලී තිබෙනු දක්නට ලැබෙයි. මේ ධීවරයන් ඝාතනය කර ඔවුන් ආහාරයට ගන්නට ඇතැයි මතයක් තිබිණි. අනතුරට පත්වූ ධීවරයන්ගෙන් ලැබුණු පණිවිඩයකට අනුව එහි ගිය ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ හෙලිකොප්ටර් යානයකට ද ගෝත‍්‍රිකයෝ ගල්වලින් ගසමින් ඊතලවලින් විදිමින් ප‍්‍රහාර එල්ල කළහ. හෙලිකොප්ටර් යානයේ සිටි මිනිසුන් දැක ඇත්තේ ද මේ ගෝත‍්‍රිකයෝ ප‍්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ගිනි මැලයක් වෙත වේගයෙන් දිව ගිය බවයි. කෙසේ වෙතත් ධීවරයන් දෙදෙනකු මරා කෑමට65 ගන්නට ඇතැයි සිතා සිටිය ද මිනිසුන් දෙදෙනකු වළ දමන්නට ඇතැයි සිතිය හැකි වළවල් දෙකක් නොගැඹුරු මුහුදු දියේ දක්නට ලැබුණු බව පසුව හෙළිවිය. ඒ හේතුවෙන් එහි සිටින්නේ මිනී මස් කන ගෝත‍්‍රිකයන් යැයි තිබූ මතය අභියෝගයට ලක්වෙයි. වරක් මේ දූපත බැලීමට තනිවම ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් දින කිහිපයකට පසු ඉන්දීය වෙරළාරක්ෂකයන් විසින් සොයාගෙන ඇති අතර මළ සිරුර හමුවන අවස්ථාවේ දී මියගිය පුද්ගලයාගේ උගුරු දණ්ඩ කෑලි කෑලිවලට කපා දමා තිබූ බව ඉන්දීය වෙරළාරක්ෂකයෝ පවසති.දූපතේ සිටින ගෝත‍්‍රිකයන් මිනී!මස් ආහාරයට ගන්නේ නම් මියගිය තැනැත්තාගේ සිරුර හමුවීමට ඉඩක් නැත. වර්ග කිලෝ මීටර 72ක් පමණ විශාලත්වයෙන් යුතු මේ කුඩා දූපත ඝන වනාන්තරයකින් වැසී පවතී. පර්යේෂකයන් විශ්වාස කරන්නේ මේ දූපතේ ගෝත‍්‍රිකයන් 50ත් 200ත් අතර ප‍්‍රමාණයක් සිටිය හැකි බවයි. කොරල්පරවලින් වටවී ඇති දූපතේ යාත‍්‍රා ගොඩබැස්සවිය හැකි ස්ථානයක් නොමැති බැවින් එය වඩාත් හුදකලා වන්නට ඇතැයි ද පර්යේෂකයන්ගේ මතය වී තිබේ. දූපත ගැන සටහන් තැබූවන් පවසන්නේ 1980 දී හා 1990 දී මෙම දූපත් වාසීන් බොහෝ දෙනකු නූතන මිනිසුන් අතින් ඝාතනය වී ඇති බවයි. මුහුදු බත් වූ නැවකින් මෙහි පැමිණි පුද්ගලයන් ඔවුන් මරා දමා ඇත. මේ සිදුවීම වනතුරුම ඔවුන් ලෝකයෙන් හුදකලා වී සිටි බව පර්යේෂකයන්ගේ මතයයි. කෙසේ වෙතත් ගෝත‍්‍රිකයකුගේ ඞී. එන්. ඒ ගත් පර්යේෂකයකු ඒවා පරීක්ෂා කිරීමෙන් සොයාගෙන ඇත්තේ ඔවුන් අවරුදු 60,000ට පෙර අප‍්‍රිකාවෙන් එළියට පැමිණි නූතන මානවයන්ගෙන් පැවත එන්නන් බවයි.

අන්දමන් දූපත් සියල්ල ගවේෂණය කැර ඇතත් දකුණු දූපතේ සිට සැතපුම් 25ක් පමණ ඈතින් පිහිටි මේ කුඩා දූපත අධ්‍යයනයට ලක්වී නැත. අන් සියලූ දූපත්හි වසන ගෝත‍්‍රිකයෝ අන්දමන් රජය සමඟ සම්බන්ධතා පවත්වති. එසේ වුව ද උතුරු සෙන්ටිනල් දූපතට කිසිදු පිටස්තරයකු පය තබා නැත. ඉන්දීය රජය මේ දූපත වටා සැතපුම් තුනක තහනම් මුහුදු සීමාවක් ප‍්‍රකාශයට පත්කර ඇත. ඉන්දීය රජය පවසන්නේ මේ දූපතේ සිටින ස්වදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා තමන් එසේ කළ බවයි. වසර දහස් ගණනක පරිනාමික ක‍්‍රියාවලියේ දී හුදකලාව විකාශනය වූ මේ ගෝත‍්‍රිකයෝ අනෙක් මිනිස් සමාජයට බොහෝ අසමානතා දක්වති. පේරු, බටහිර පැපුවා හා බ‍්‍රසීලයේ ඇමසන් වනාන්තරවල ජීවත්වන බාහිර ලෝකය හා සම්බන්ධයක් නැති ගෝත‍්‍රික කණ්ඩායම් සමඟ මොවුන්ගේ සමානකම් ඇතත් මේ ගෝත‍්‍රිකයෝ ඔවුන්ටත් වඩා තවත් අතීත ගල් යුගයේ ජීවමාන සාක්ෂියක් බව ද පර්යේෂකයන්ගේ මතයයි. අනෙක් ගෝත‍්‍රිකයෝ ඇතැම් කාරණාවල දී බාහිර ලෝකය සමඟ සම්බන්ධතා දක්වති. පර්යේෂකයන් පවසන්නේ සෙන්ටිනල් දූපතේ සිටින ගෝත‍්‍රිකයන්ගේ භාෂාව අන්දමන් දූපත්වල සිටින කිසිදු ගෝත‍්‍රික ජනකොටසකට තේරුම්ගත නොහැකි බවයි. එයින් තේරුම්ගත හැකි කරුණක් වන්නේ මේ ගෝත‍්‍රිකයෝ අන්දමන් දූපත්වල සිටින සෙසු ගෝත‍්‍රිකයන්ගෙන් ද හුදකලා වී වසර දස දහස් ගණනක් ගතවී ඇති බවයි. මේ ගෝත‍්‍රිකයන් පිළිබඳ සොයා බැලීමේ ක‍්‍රියාවලිය ආරම්භ වන්නේ 1880 වර්ෂයේ දී ය. ඉන්දියාව කේන්ද්‍රකරගනිමින් අන්දමන් දූපත් ද පාලනය ගෙන ගිය බි‍්‍රතාන්‍යයන්ගේ ජනපද නිලධාරීන් වරින් වර අන්දමන් දූපත්වලට ගොස් එහි සිටි ගෝත‍්‍රිකයන් සමඟ සම්බන්ධතා ඇතිකර ගනිමින් ඔවුන් ද නව ශිෂ්ඨාචාරයට ගෙන ඒමට දැඩි උත්සායක නිරතවූහ.

එවැනි අවස්ථාවක ඔවුන්ගේ ඉලක්කය වූයේ උතුරු සෙන්ටිනල් දූපතයි. එහි ගිය බි‍්‍රතාන්‍ය නිලධාරීන් දූපතේ කඳවුරු බැඳගෙන දින හතරක් ගත කළ ද ඔවුන්ට සොයාගත හැකි වූයේ පත්වාසී ඇවිද යා නොහැකි තරමට අබල දුබල වූ මහළු යුවලක් සහ දරුවන් හතර දෙනකු පමණි. මේ හය දෙනා ද රැුගෙන ඔවුහු ඉන්දියාවට පැමිණියහ. ටික දිනකින් සරම්ප රෝගයට ගොදුරු වූ මහළු යුවල මියගියහ. තම නව ශිෂ්ඨාචාරය පිළිබඳ මේ දරුවන්ට අත්දැකීම් ලබා දුන් බි‍්‍රතාන්‍යයෝ කෑම බීමෙන් ද ඔවුන්ට සංග‍්‍රහ කර ඉන් අනතුරුව තෑගි බෝග ද දී ආදරය කරුණාව දක්වා දූපතට ගෙන ගොස් ඇරලවූහ. දූපතට ගිය මේ ළමයි වෙරළට බැස තම ඥාතීන් සොයා වහා පලා ගිය ද ඉන් පසු දින ගණනක් ගතවනතුරු ඔවුන් යළි පැමිණියේ නැත. බි‍්‍රතාන්‍යයන් සිය පාලන වාර්තාවල දක්වා ඇත්තේ ගෝත‍්‍රිකයන් වෙත ගොස් කිහිප දෙනකු ගෙනවිත් කන්න බොන්න දී ඇඳුම් ද තෑගි බෝග ද ලබාදුන් පසු එවැනි ළමයින් ගෝත‍්‍රික මිනිසුන් හා තමන් අතර සමීප සම්බන්ධතා ගොඩනැංවූ බවයි. නමුත් සෙන්ටිනල් දූපතෙන් ගෙන ගිය ළමෝ තවදුරටත් හුදකලා වූහ. බි‍්‍රතාන්‍යයෝ ද මේ දූපතේ සිටි ගෝත‍්‍රිකයන් සමඟ සම්බන්ධතා ඇතිකැර ගත නොහැකිව හිස් අතින් ආපසු ආහ. ඒ නිසාම අදට ද ඔවුහු ගල් යුගයේ ජීවත් වෙති. ඉන්දියාව ඉන් අනතුරුව 1967 වර්ෂයේ දී විශාල මානව විද්‍යාත්මක දූත මෙහෙවරක යෙදෙමින් ස්වදේශිකයන් සමඟ සම්බන්ධතා ඇතිකැර ගැනීමට උත්සාහ ගත්ත ද ඔවුහු යළි කැලයේ සැඟවුණු බව ඒ වාර්තාවල දක්වා ඇත. එම ව්‍යාපෘතියේ දී පළතුරු ඇතුළු කෑම බීම, හට්ටි මුට්ටි, මාල වළලූ, ප්ලාස්ටික් ද්‍රව්‍ය, බෝල ආදී දේ රැුගෙන ඉන්දියානු පර්යේෂකයන් එහි ගොස් ඒවා වෙරළේ තබා බලා සිටියහ.

ඉන්දියාවෙන් ගිය පිරිස වැඩිවීම නිසාදෝ පහර දීමට නොපැමිණි ස්වදේශිකයෝ වනයේ සැඟවී ගියහ. දින කිහිපයකින් වෙරළට පැමිණි ඔවුහු ඒ සියළු දේ මුහුදට විසිකරමින් විනාශ කැර දැමූහ. 1970 දී සහ 1973 දී දූපතට ගොඩ බසින්නට ගිය පුද්ගලයන් ඊතල ප‍්‍රහාර නිසා ආපසු හැරී පැමිණ බව ද සඳහන් වෙයි. 1970 දශකයේ දී මේ දූපතේ ගෝත‍්‍රිකයන් ඇසුරු කිරීමේ අරමුණින් ගිය පුද්ගලයන් බොහෝ දෙනකු ඊතල ප‍්‍රහාරයෙන් තුවාල ලබා හෝ මරණයට පත්ව තිබූ බව ද පැවසේ. 1975 දී නැෂනල් ජියෝග‍්‍රෆි ආයතනයේ අධ්‍යක්ෂවරයකු ගෝත‍්‍රිකයන් සම්බන්ධ වාර්තා වැඩසටහනක් සැකසීමට එහි ගිය අවස්ථාවේ දී ඊතල ප‍්‍රහාරයකට ලක්වූයේය. ඉන් තුවාල ලැබූ ඔහු ආපසු පැමිණියේ සිය අදහස වෙනස්කරමිනි. අදින් වසර 20ට පෙර එනම් 1995 දී ඉන්දියාවේ මානව විද්‍යා මහාචාර්යවරයකු වූ ට‍්‍රයිලෝකිනාත් පණ්ඩිත් මහතා මේ ගෝත‍්‍රිකයන් සමඟ සියුම් ලෙස සම්බන්ධතා පවත්වාගැනීමට දැඩි උත්සාහයක නිරත වූයේය. එය යම් තරමකට සාර්ථක වූ බව පැවසේ. මහාචාර්යවරයා නිතර නිතර එහි යමින් ඔවුන්ගේ ඊතල ප‍්‍රහාර මගහරිමින් ඔවුන්ට අවශවනු ඇතැයි සිතූ ලෝහ වර්ග හා පොල් වැනි ද්‍රව්‍ය ඔවුන්ට ත්‍යාග වශයෙන් ලබා දීමට කටයුතු කළේය. වසර ගණනාවක් තිස්සේ ටිකෙන් ටික ඔවුන්ට සමීප වූ මහාචාර්යවරයාට තම සිරුරේ ඇති ඇඳුම් උනා දැමීමට පවා ගෝත‍්‍රිකයන් ඉඩ දුන්නේය. ඔහු ස්වදේශිකයන්ගේ සංස්කෘතිය හා සම්බන්ධවීමට ගත් උත්සාහයේ දී සිදුවූ අලාභයන් හා ස්වදේශීයයන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමේ අවශ්‍යතාව මත ඉන්දියානු රජය මේ දූපත අවට කිලෝ මීටර 3ක් දක්වා මුහුදු ප‍්‍රමාණය ඇතුළු සමස්ථ ප‍්‍රදේශයම තහනම් කලාපයක් බවට පත්කරන ලදී.

අන්දමන් දූපත්වල ජීවත්වූ අනෙක් ගෝත‍්‍රිකයන් බාහිර සමාජය සමඟ සම්බන්ධතා ඇතිකැර ගැනීමෙන් පසුව විනාශ වී ගොස් ඇති ආකාරය සැලකීමේ දී ඉන්දියාව ගත් මේ තීරණය ඉතා කාලෝචිත බව ලොව පුරා මානව විද්‍යාඥයන්ගේ අදහසයි. දූපත ආසන්නයේ පියාසර කරන හෙලිකොප්ටර් යානා මගින් ගන්නා ලද වීඩියෝ දර්ශන හා ඡුායාරූපවලින් පැහදිලි වෙන්නේ මොවුන් නිරුවතින් දිවි ගෙවන කාලවර්ණ ඉතා සෞඛ්‍ය සම්පන්න හා ශක්තිමත් ජන කොට්ඨාසයක් බවයි. ඔවුහු මාළු, කැස්බෑවුන්, කටුස්සන්, කුඩා කුරුල්ලන් ඇතුළු දඩයම් කළ හැකි සියළු සතුන් මරා කන බවත් පොල් හා වන ඵල ඔවුන්ගේ ආහාරයට එක්ව ඇති බවත් පර්යේෂකයෝ කියති. පර්යේෂකයන් පවසන්නේ මේ ගෝත‍්‍රිකයෝ ඊතල සඳහා අවශ්‍ය ලෝහ ලබාගන්නට ඇත්තේ මුහුදු බත්වූ නැව් වලින් බවයි. මේ ගෝත‍්‍රිකයන් පිදුරු හෝ කොළ අතු සෙවිළි කළ පැල්පත් වැනි නිවාසවල ජීවත්වන්නේ යැයි පර්යේෂකයෝ විශ්වාස කරති. ඔවුන් පවසන්නේ කුඩා දියකඩන සෑදීමට මොවුන්ට හැකියාව ඇති බවයි. එමෙන්ම එකිනෙකාගේ උකුල්මත ඉඳගනිමින් අපූරු ආචාර ක‍්‍රමයක් අනුගමනය කරන බවත් පිටුපස හැරී එක් අයකුගේ තට්ටම්වලට අනෙක් පුද්ගලයාගේ තට්ටම් වද්දවමින් ගී ගයමින් සිටින බවත් නිරීක්ෂණය කැර ඇත. 2004 වර්ෂයේ සුනාමියෙන් මේ ගෝත‍්‍රිකයන් දිවි ගලවාගැනීම පුදුම සහගතය. කාලගුණයේ වෙනස්වීම් සම්බන්ධයෙන් මොවුන් සතුව ඇති ගුප්ත හැකියාවන් ඒ සඳහා ප‍්‍රයෝජනවත් වන්නට ඇතැයි ද මතයක් පවතී. යම් පාරම්පරික ඥානයකින් සුනාමි අනතුර සම්බන්ධයෙන් කල්තියා දැන උස් ප‍්‍රදේශවලට වී සිටින්නට ඇතැයි ද පර්යේෂකයන්ගේ මතයයි. වසර 60000ක පමණ කාලයක සිට හුදකලා වී පරිනාමිකව මිනිසුන් ලෙස දියුණු වුව ද සංස්කෘතික දියුණුවක් නොලැබූ මේ අපූර්වතම ගෝත‍්‍රික ජනයා තවදුරටත් නවීන ලෝකය සමග සම්මිශ‍්‍රණය නොකර ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ සිටීමට ඉඩදීම වඩාත් සුදුසුයැයි මානව විද්‍යාඥයෝ කියති.