මුහුදු වතුර මුහුදු ජීවින් බොන්නේ කොහොමද

ලෝකයේ විවිධ ස්වභාවික සංසිද්ධීන් පිළිබඳ අපට විවිධ ප‍්‍රශ්න මතු වෙනවා. සමහර අවස්ථාවල එම ප‍්‍රශ්න නිරාකරණය කරගැනීම පහසු වෙන්නේ නැහැ.ඒක එහෙම වෙන්නෙ කොහොමද, ඇයි මේක මෙහෙම වුණේ වැනි ප‍්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමට නම් පර්යේෂණ කරන්නටම සිදුවෙනවා. අපට නැඟෙන සමහර ප‍්‍රශ්න ඒ ඒ ක්ෂේත‍්‍රවල නිපුණත්වයක් ඇති අයට නැගුණොත් ඒ අය ඒ පිළිබඳ පර්යේෂණ කර විසඳුම් සොයාගන්නවා. ඇමෙරිකාවේ රෝඞ් අයිලන්ඞ් විශ්වවිද්‍යාලයේ සමුද්‍ර ජීව විද්‍යාඥයෙකු වූ රොබර්ට් කෙනී විසින් අපට කටටවත් ගන්නට බැරි ලූණු වතුර මුහුදු ජීවීන් මුළු ජීවිත කාලය පුරාම බොන්නෙ කොහොමද ?යන ප‍්‍රශ්නයට පිළිතුරු සොයා ගෙන තිබෙනවා. අපිට ලුණු මිශ‍්‍ර ජලය වැඩිපුර පානය කළහොත් ජල පිපාසය තව තවත් වැඩි වන බවට අත්දැකීමෙන් දන්නවා. එයට ප‍්‍රධාන හේතුව වන්නේ අප පානය කරන ලුණු මිශ‍්‍ර ජලයේ ඇති ලුණුවල සාන්ද්‍රණය අඩු කිරීම සඳහා සිරුරේ සෛල තුළින් පිරිසිදු ජලය වැඩි වැඩියෙන් අවශ්‍ය වීමයි. මේ නිසා අපේ සිරුරේ ද්‍රවමය පටක සහ සෛලවල ඇති ජලය වැඩි වැඩියෙන් අවශෝෂණය කරගනිමින් ලුණු සාන්ද්‍රණය අඩු කිරීම පරිවෘත්තීය ක‍්‍රියාවේදී සිදු වෙනවා. එහිදී සිදු වෙන්නේ පටක සහ සෛල ජලයෙන් විශූන වීමයි.

එනම් සෛලවල ඇති ජලය පිටතට ඇදී යාමයි. සෛල ජලයෙන් විශූන වීම නිසා අපට පිපාසයක් ඇතිවෙනවා. ඒ අයුරින් සාන්ද්‍රණය අඩු කර ගත් ලුණු අපේ මුත‍්‍රා සමඟ පිට වී යනවා. නමුත් මුහුදු ජීවීන්ගේ ක‍්‍රියාකාරිත්වය මෙයට වඩා බොහෝ සෙයින් වෙනස්. මුහුදු ජීවීන්ට මුහුදු ආහාර ගන්නා විට ඒ සමඟ විශාල ධාරිතාවකින් මුහුදු ජලය පෙවෙනවා. මුහුදු ජීවීන් කොපමණ මුහුදු ජලය පානය කළත් එහි ඇති ලුණු සාන්ද්‍රණය අඩු කරන්නට පිටතින් පිරිසිදු ජලය අවශ්‍ය වෙන්නෙ නැහැ. ඔවුන් මුත‍්‍රා සමඟ අධික ලුණු සාන්ද්‍රණයක් පිට කරනවා. ඔවුන්ගේ මුත‍්‍රා සමඟ ලුණු පිටවීම භූමියේ ජීවත්වන සතුන්ට වඩා අට ගුණයකින් පමණ වැඩි බවයි සමුද්‍ර ජීව විද්‍යාඥයන් පවසන්නේ. තල්මසුන්, ඩොල්ෆින් වැනි ජීවීන් අධික ලෙස මුහුදු ජලය පානය කරනවා. එසේම ඔවුන්ගේ වකුගඩු ප‍්‍රමාණයෙන් ඉතාම විශාලව හැඩ ගැසී තිබෙනවා. මෙම අති දැවැන්ත වකුගඩුවලට පිරිසිදු ජලය පාවිච්චි නොකර ලුණුවල සාන්ද්‍රණය අඩු කිරීමේ විශ්මිත හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඔවුන් කොපමණ ලුණු මිශ‍්‍ර වතුර බිව්වත් මිනිසාට වගේ එම සතුන්ට ප‍්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

මිනිස් සිරුරෙන් ලවණ මිශ‍්‍ර ජලය පිටවන අවස්ථා කීපයක්ම තිබෙනවා. මුත‍්‍රා ලෙස පිටවීම හැරුණු කොට දහදිය ලෙසත් ප‍්‍රාශ්වාස වාතය ලෙසත් ශරීරයෙන් ලවණ මිශ‍්‍ර ජලය පිටවෙනවා. ප‍්‍රාශ්වාසයේ දී අප පිටකරන වාතයේ කාබන්ඩයොක්සයිඞ් අණු මෙන්ම ජල අණු ද තිබෙනවා. නමුත් මුහුදු ජීවීන් දහදිය ලෙස හෝ ප‍්‍රාශ්වාසයේ දි හෝ ලවණ මිශ‍්‍ර ජලය පිට කරන්නේ නැහැ. ඔවුන්ගේ සිරුරෙන් ලවණ මිශ‍්‍ර ජලය බැහැර වෙන්නේ මුත‍්‍රා විදිහට විතරයි.එසේ බැහැර වෙන මුත‍්‍රා සමග අධික ලුණු සාන්ද්‍රණයක් පිටවීම පුදුමයට කරුණක් නොවෙයි. සමහර මුහුදු ජීවීන් මුළු ජීවිත කාලය පුරාම ලුණු වතුර පානය කළත් සමහර මුහුදු ජීවීන් පිරිසිදු ජලය සොයාගෙන ධ‍්‍රැවීය ප‍්‍රදේශවලට පිහිනා යන අවස්ථාත් තිබෙනවා. ඔවුන් එසේ ධ‍්‍රැවීය ප‍්‍රදේශවලට ගියත් ඇත්ත වශයෙන්ම ධ‍්‍රැවීය ප‍්‍රදේශවල පිරිසිදු ජලය ඇත්තේ නැහැ. නමුත් එම ප‍්‍රදේශවල ඕනෑතරම් හිම මිදෙනවා. මෙම හිම ආහාරයට ගැනීමෙන් ලුණු රහිත පිරිසිදු ජලය ලබාගන්න පුළුවන්. මේ නිසා සීල් මත්ස්‍යයින් අවුරුද්දේ එක් කාලයකට ධ‍්‍රැවීය ප‍්‍රදේශවලට ගමන් කරනවා. නමුත් මේ ගමන ඉතාම දුෂ්කර ගමනක්. ඒ නිසා සීල් මසුන් හැරුණු විට බොහොමයක් මුහුදු ජීවීන්ට එය ඒ තරම් පහසු ගමනක් නෙවෙයි. නමුත් මේ ගමනේ දුෂ්කර බව නිසාම එසේ ගමන් ගන්නා මුහුදු ජීවීන්ට ධ‍්‍රැවීය ප‍්‍රදේශවලට ළං වන්නට මත්තෙන් ජීවිතයෙන් සමුගන්නට සිදුවීම හෝ ආපසු එන ගමනේ දී ජීවිතයෙන් සමුගන්නට සිදුවීම සාමාන්‍ය සංසිද්ධියක් බවට මේ වන විට පත්ව තිබෙනවා.