නාගදීපය දියුණු කරන්න බැරි නාගයන් නිසා

අප රටේ ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය ලබන බොහෝ සිසු දරු දැරියන්ට නාගදීපය පිළිබඳ ඉගෙන ගැනීමට සිදු වෙයි. එහෙත් බදුල්ල දිස්ත්‍රික්කයට අයත් රිදීමාලියැද්ද අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල්වල ඉගෙනුම ලබන සිසු දරුවන්ට ‘නාගදීප දෙකක්’ ගැනම ඉගෙන ගන්නට සිදුව තිබේ. ඒ තමන් පදිංචි ප්‍රදේශයේම මහියංගණයට නොදුරින් ශාසනික, ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වශයෙන් අතිශය වැදගත් තවත් නාගදීප පුදබිමක් ඇති බැවිනි. බැලූ බැල්මටම මෙය විකල්ප නාගදීපයක් වනමුත් ඇතැමුන් පවසනුයේ නියම නාගදීපය එය බවයි.අපි භාවිත කරන සොළොස්මස්ථාන වඳින ගාථාවේ මහියංගණං නාගදීපං කියලා, කියලා තියෙන්නේ ඔය නාගදීපය.

ඕක ඉස්සර වතුරෙන් යටවුණු දූපතක්. මහාවංශයේ පවා බුදුහාමුදුරුවෝ වැඩියේ මේ නාගදීපයට කියන කාරණේ අතිශයින් පැහැදිලිව තියෙනවා: ඒ හින්දා තමයි ඔය පළාත්වල ගුරුවරු දරුවන්ට නාගදීපය ගැන කියලා දෙනකොට නියම නාගදීපය තියෙන්නේ මෙහේ කියලා නොකියා කියන්නේ. රිදීමාලියැද්ද ප්‍රදේශයේ දිගු කලක් සේවය කළ, දැනට ගම්පහ පදිංචි විශ්‍රාමික ගුරු මාතාවක වන ඩී. එම්. එම්. දිසානායක මහත්මිය මහියංගණයේ නාගදීපය ගැන කියා සිටියේ එවන් කතාවකි.‘‘නමුත් ඔය නාගදීපය කියන්නේ හරිම ගුප්ත පූජා භූමියක්. ඔය නාගදීප වැව, නාගදීප රජමහා විහාරය අවට තවමත් හරියට ගුප්ත බලවේග ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දම තමයි ශාසනික, ඓතිහාසික, පුරාවිද්‍යාත්මක වශයෙන් ඔච්චර වැදගත් තැනක් තවමත් නිසි කලඑළියක් නැත්තේ. ඇය අනතුරුව කීයේ ඒ පුදබිම සම්බන්ධයෙන් මගේ සිත තුළ විශේෂ උනන්දුවක් පුබුදු කරමිනි.

ඒ අනුව අපි පසුගිය දිනයෙක එහි සංචාරය කළෙමු.බිබිලේ, ඌරණිය, මහියංගණ පාර ඔස්සේ ඌරණිය නාගදීප හන්දියෙන් දකුණට හැරී මඳ දුරක් යන විට නාගදීප වැව හමුවෙයි. මේ වන විට ගොඩබිමක්ව පැවතියද අතීතයේ නාගදීප වැවට මැදි වූ පැරණි නාගදීපය හමුවන්නේ නිසි ප්‍රතිසංස්කරණයක් සිදු නොකළ එම වැව අද්දරින් වැටී ගත් මාවත ඔස්සේ කිලෝමීටර් දෙකක් පමණ පසු කළ විටය. එය මුළුමනින්ම පාහේ කෘෂිකාර්මික ජනාවාසයක් බව බැලූ බැල්මටම පෙනෙයි.බුදුරජාණන් වහන්සේ සිරිලකට වැඩම කළ බවට කිසිදු සාක්ෂියක් ත්‍රිපිටක මූලාශ්‍රවල නැත. ඒ සියලු තොරතුරු ගොනු වනුයේ අපගේ වංශ කතා මූලාශ්‍රවල පමණි. මහාවංශයේ පළමු පරිච්ඡේදයේ විසිදෙවන පාඨයෙන් විස්තර කෙරෙන අන්දමට බුදුරදුන් මහියංගණයට වැඩම කොට ඇත්තේ තුන් යොදුනක් දිගැති එක් යොදුනක් පළල ‘‘මහා නාග’ නම් උද්‍යානයකටය.

පැරණි දුර මැනීමේ ක්‍රම වර්තමානය හා සම්බන්ධ කළ විට ගව්වක් සැතපුම් හතරක් ලෙසත්, ගව් හතරක් යොදුන් එකක් ලෙසත් සලකනු ලැබේ. ඒ අනුව බලන විට මහා වංශ විස්තරයෙහි එන බුදුන් වැඩම කළ මහියංගණයේ මහා නාග උද්‍යානයේ වපසරිය වර්ග සැතපුම් හත්සිය අසූහයක් හෙවත් වර්ග කිලෝ මීටර් එක්දහස් නවසිය අසූහතරක් විය යුතුය.‘‘මේ නාගදීප වැව කියන්නේ බුදුන්ගේ කාලේ ඉඳලම තිබුණු ජලාශයක්. නමුත් පසු කාලේ දී මේක සෑහෙන දුරට ගොඩවෙලා තියෙනවා. නමුත් අදටත් වැසි කාලෙට මේ කොටස වෙනම දූපතක් හැටියට තමයි පේන්නේ. මොනවා වුණත් මේක තමයි බුදුන් වැඩම කරපු නියම නාගදීපය. චූලෝදර මහෝදරවරුන් යුද්ධයකට මුල පුරපු මිණි පළඟ අදටත් මේ නාගදීපයේ තමයි තියෙන්නේ. නමුත් ඒක තියෙන්නේ රහසිගතව, කවුරු හරි ඒකට අත තියන්න උත්සාහ කළොත් උන්දැගේ හත්මුතු පරම්පරාවම විනාශ වෙනවා. මොකද මේක නාගයෝ ආරක්ෂා කරන නිසා. නාගදීප හන්දියේ පිහිටි කුඩා වෙළෙඳසලේ දී අපට හමු වූ ගැමියෙක් කීය.

බුදුරදුන් වැඩම කළ සැබෑ නාගදීපය කෙසේ වෙතත් තම යුද්ධයට මුල පිරුණු මිණි පළඟ චූලෝදර – මහෝදර නා රජවරුන් විසින් බුදු රදුන්ට පූජා කළ පුවත මහා වංශයේ පළමු පරිච්ඡේදයේ 61 – 62 පාඨවලින් පැවසෙයි. එමෙන්ම ඉහත සඳහන් ගැමියා කී පරිදිම බුදු හිමියන් විසින් එය පූජනීය වස්තුවක් සේ පරිහරණය කරන මෙන් පවසා එකී මිණි පළඟ ඒ නා රජවරුන්ටම නැවත භාරදුන් පුවත සඳහන් වනුයේ මහා වංශයේ 69-70 යන පාඨවලිනි.‘ඔය මිණිපළඟ නිදන් කරලා තියෙන්නේ කොහෙද කියලා හරියටම කියන්න බැහැ. නමුත් ඔය නාගදීප රජමහා විහාරයේ දාගැබ් දෙකක් තියෙනවා. ඒකෙන් ලොකු දාගැබ අද ඒකේ බඳ කොටස පේන්නේ කන්දක් වගේ. ඒකට කියන්නේ විහාරගොඩ කියලා. ඒ කන්ද මුදුනේ පස්සේ කාලෙක හදපු දාගැබ තමයි අද දාගැබක් විදිහට හඳුන්වන්නේ.

නමුත් නියම විදිහට බැලුවොත් නියම දාගැබ කියන්නේ අද කන්දක් වගේ තියන විහාරගොඩම තමයි. ඉස්සර අපේ ආතලා, මුත්තලා ඔය ගොඩැල්ල ගැන සෑහෙන බයකින් සැකයකින් හිටියේ ඕකට නාගයෝ අරක්ගෙන ඉන්නවා කියලා. සමහර විට ඔය කියන මිණි පළඟ ඔය දාගැබේ නිදන් කරලා තියෙනවා වෙන්න පුළුවන්. මෙම ගමන යන අතරතුර නාගදීප කනිටු විදුහල අද්දර දී අපට හමු වූ ඩී. එම්. මුතුබණ්ඩා මහතා කීය.ඔහු වැඩිදුරටත් පැවසූ පරිදි චූලෝදර, මහෝදර නා රජවරුන් දෙදෙනාගේ යුද්ධයට මුල පිරුණු එම මිණිපළඟ එම දාගැබ් ගොඩැල්ල තුළ ඇතැයි යන විශ්වාසය ගොඩනැගී ඇත්තේ ඇතැම් රාත්‍රී කාලයන්හි ඉන් රිදී පැහැති අාලෝකයක් නිකුත් වෙන බවට පවත්නා විශ්වාසය පෙරදැරි කර ගනිමිනි. එය සියැසින් දැක ඇති පිරිස් එම ප්‍රදේශයේ හිඳින බවද කියනු ලැබේ.

දුටුගැමුණු කුමාරයා මාගම ඉඳලා, අනුරාධපුරේට යුද සේනාව අරගෙන ගියේ මේ නාගදීප වැව අද්දරින් කියලයි කියන්නේ. යුද සේනාව සමග වැව අයිනේ වාඩි ලාගෙන ඉන්න ගැමුණු කුමාරයාට රාත්‍රියේ කිට්ටුව තියන කන්දකින් ලොකු අාලෝක ධාරාවක් නිකුත් වෙනවා පෙනිලා තියෙනවා. ඊට පස්සේ විපරම් කරලා බලනකොට තමයි කුමාරයාට ආරංචි වෙලා තියෙන්නේ පුරාණ නාගදීපේ තියෙන්නේ මෙහේ කියලා, ඊට පස්සේ කුමාරයා මේ විහාරයට ඇවිත් යුද්ධයෙන් දිනන්න බාරයක් වෙලා යුද්දෙ දිනුවට පස්සේ මේ ලොකු දාගැබ හැදුවා කියලා තමයි මේ පැත්තේ වැඩිහිටියෝ කියන්නේ.

මෙම ගමනේ අතරමගදී හමු වූ තවත් ගැමිලියක් එසේ කීවාය.කෙසේ හෝ මෙම නාගදීපය සම්බන්ධ කවර හෝ කටයුත්තක් කිරීමේදී ඊට නොයෙකුත් ගුප්ත බලපෑම් එල්ලවන බවත්, මෙම පැරණි නාගදීප රජමහා විහාරයට වැඩිපුර ප්‍රසිද්ධියක් හිමිවීමට මෙයට අරක්ගත් නාගයන් තුළ පවත්නා අකැමැත්ත ඊට හේතුව බවත්, මෙහි ගැමියෝ කියති. එමෙන්ම මෙහි වඩාත් විස්මයට කරුණ වූයේ අප ජනමාධ්‍යයකින් පැමිණි බව කී විට ඔවුන් එම ‘නාගදීප රහස්’ අප වෙතින් සඟවාලීමට දැරූ වෙහෙස අපටද මනාව ප්‍රත්‍යක්ෂ වීමය. එය පාරම්පරිකව ඔවුන් රැකගත් සම්ප්‍රදායක් විය හැක.‘‘මේ නාගදීප වැව අක්කර හාරදහස් දෙසීයක් විශාලයි. පහු කාලෙක ගොඩවෙලා තිබුණු වැව ආයිමත් ඒ ප්‍රමාණයට ගන්න ඒ වෙනකොට ජනතාව පදිංචිවෙලා හිටපු නාගදීප ගමෙන් කොටසක් වතුරට යට කරන්න සිද්ධ වුණා. එක්දාස් නවසිය හැට ගණන්වල තමයි වැව ඒ විදිහට ප්‍රතිසංස්කරණය කළේ. නමුත් ඊට පස්සේ ඒකට මුල් වුණු දේශපාලනඥයාටත් බරපතළ ප්‍රශ්න ඇති වුණා.මෙම නාගදීපයේ ඇති ගුප්ත බලපෑම පිළිබඳ ගැමියන්ගේ ‘සමීකරණය’ට අනුව ඔවුන්ගේ මතක සීමාවට පිවිසෙන මුල්ම සිද්ධිය එයයි. මෙම නාගදීප රජමහා විහාරය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස 1960 නොවැම්බර් දහඅටවැනිදා අංක 12230 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කොට තිබුණ ද ඉන්පසු වසර තිහක් පමණ යනතුරු එහි කිසිදු ගවේෂණයක්වත් සිදුව නැත.

‘‘කොහොම හරි ප්‍රේමදාස ජනාධිපතිතුමා 1989 මහියංගණයේ ගම් උදාව කරන කාලේ මේ ස්ථානය ගැන දැනගෙන මේකේ පුරාවිද්‍යාත්මක ගවේෂණයක් කරන්න නියම කළා. උන්නැහේ ඒ වැඩේ පවරලා තිබුණේ සිල්වා කියලා මහත්තයකුට. ‘මෙම නාගදීප රජමහා විහාරය අද්දරදී අපට හමු වූ ගැමියෙක් කීය. ඒ සම්බන්ධයෙන් පසුව කරන ලද විමසා බැලීමේදී අපට පසක් වූයේ ගැමියා කියූ ‘සිල්වා’ ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පදවිය හෙබවූ ආචාර්ය රෝලන්ඩ් ද සිල්වා මහතා බවය.කොහොම හරි උන්නැහේ මේ නාගදීපෙට එන එකටත් සෑහෙන බාධා එල්ල වුණා. අනික ඒ කාලේ මේ පන්සලට එන්න හරියට පාරක්වත් නැහැ.

ඒ හින්දා එතුමා වැවේ ඔරුවකින් තමයි එදා ආවේ.’’කෙසේ නමුදු ඔහුගේ පැමිණීමෙන් පසු මෙම පුරාණ නාගදීප රජමහා විහාරස්ථානයේ සිදු කරන ලද පුරාවිද්‍යා ගවේෂණ මගින් මෙම මුල් අනුරාධපුර යුගය දක්වා ඉතිහාසයක් සහිත බෞද්ධ පුදබිමක් බව නිරීක්ෂණය වී තිබේ. සත්ත්ව රූප ආදිය නිර්මාණය වීමට පෙර නගන ලද ඉපැරණි සඳකඩ පහණක්, ක්‍රිස්තු වර්ෂ අට, නවය සියවස්වලට අයත් ශිලාලේඛනයක් ඇතුළු පැරණි ස්තූප, ගොඩනැගිලි, පාදම් ආදිය අනුව මෙය සංරක්ෂණය කළ යුතු පුරාවිද්‍යා ස්ථානයක් ලෙස අාචාර්ය රෝලන්ඩ් ද සිල්වා නිර්දේශ කොට තිබේ. එහෙත් මහියංගණ ගම් උදාවට සමගාමීව ‘නාගදීප ගම’ නමින් උදාගමක් තැනූ ජනාධිපති ප්‍රේමදාස මහතාගේ සිත මෙම නාගදීප සංවර්ධනයට ඉන්පසු යොමු වූ බවක් නොපෙනෙයි.‘‘සමහර විට එතුමන්ට මේ නාගදීපයේ ගුප්ත බලවේග ගැන දැනගන්නට ලැබුණු හින්දද මන්දා එතුමාගේ අනික් යෝධ සංවර්ධන වැඩවලින් සියයට එකක්වත් මේ පූජා භූමිය සම්බන්ධයෙන් සිද්ධ වුණේ නැහැ.

සමහර විට මේකට අරක් ගත්තු නාගයෝ එතුමාට හීනෙන් කිව්වද දන්නේ නැහැ ඕකට අත තියන්න එපා කියලා. මොකද එහෙම දේවලුත් සිද්ධ වෙනවා. නමුත් මේ නාගදීපේ වඳින්න එන අයට එහෙම කිසිම බාධාවක් නැහැ. ආකාසට්ඨාච භුම්මට්ඨා- දේවා‘නාගා’ මහිද්ධිකා කියලා නාගයන්ටත් පින් දුන්නාම හොඳටම ඇති. නාගයෝ ඒ පින් අරගෙන වන්දනාකාරයන්ට පිහිටාරක්ෂාව සලස්වනවා’ නාගදීප ගැමියෝ කියති.ඔවුන්ගේ ප්‍රකාශ කෙසේ වුවද සිරිලක බුදු සසුන ආරක්ෂා කිරීමෙහිලා අතීතයේ නාග ගෝත්‍රිකයන්ගෙන් ඉටු වූ සුවිසල් මෙහෙවර සලකා ඔවුනටද පින්පෙත් ප්‍රදානය වත්මන් බෞද්ධ සමාජය දක්වා පැමිණ ඇති කෘතවේදීත්වය මුල්කොටගත් සදාචාර සම්ප්‍රදායකි. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද 2007 වසරේ එක්තරා හිමිදිරියක කිසිවකුටත් නොදන්වා මෙම නාගදීපයට පැමිණ තිබේ. එසේ පැමිණෙන්නට ඇත්තේ දුටුගැමුණු කුමරුන් මෙන් උතුරු නැගෙනහිර යුද ජයග්‍රහණය වෙනුවෙන් භාරයක් වීමට බවත්, නාගදීප ගැමියන්ගේ පොදු මතයයි.කොහොම හරි යුද්දෙ දිනුවට පස්සේ මහින්ද මහත්තයා මේ විහාරේ සංවර්ධන වැඩවලට මැදිහත්වෙලා. අඩි එකහමාරක් විතර උස නාග පිළිරුවකුත් විහාරයට පූජා කළා.

එසේ එහි ගැමියන් පවසනුයේ ඒ වන විට ජරාවාසව තිබූ සංඝාවාසය වෙනුවට ඉතා අලංකාර ගෘහ නිර්මාණ ශිල්පියට අනුව මැද මිදුලක්ද සහිත සංඝාවාසයක් තැනවූ රාජපක්ෂ මහතා එය 2015 ජනාධිපතිවරණයට ආසන්නතම දිනයෙක සසුනට පූජා කළ බවය.‘‘කොහොමත් දැනට වැඩ ඉන්න බේරුවල ධම්මරක්ඛිත හාමුදුරුවන් හැරුණුකොට වෙන හාමුදුරු නමකට ඔය ආවාසේ වැඩ ඉන්න බැහැ. එක එක ගුප්ත බලපෑම් එනවා’ නාගදීප රජමහා විහාරයට හැරෙන හන්දියේ දී අපට හමු වූ අවසන් ගැමියා කීය.ඒ කෙසේ හෝ එවන් ගුප්ත බලපෑම් යනු ජනතාව අතර පැතිර පවත්නා ඊනියා මතිමතාන්තර බව පුවත්පත් විශේෂාංගයක් මගින් සනාථ කරනු පිණිස විහාරාධිපති හිමියන්ගේ කාරුණික අවසරය මත එම විහාර පරිශ්‍රය තුළ රැයක් ගත කිරීමේ අභිලාෂයෙන් එම විහාරයට පිවිසි අපට උන්වහන්සේ වෙනුවට හමු වූයේ එහි රාජකාරියේ යෙදී සිටි සිවිල් ආරක්ෂක භටයෙකි.‘‘හාමුදුරුවෝ අසනීප වෙලා බිබිලේ ඉස්පිරිතාලේ නතරවෙලා ඉන්නේ. වෙන දවසක එන්න.’’ ඉතා සුහද ලෙසින් අප පිළිගෙන අපගේ තොරතුරු විචාල ඔහු අවසානයේ කීය.‘‘අපරාදේ නියම චාන්ස් එකක් නැතිවුණා. එම විහාර බිමෙන් නික්මෙන අතරේ මම මගේ ගමන් සගයාට කීවෙමි. එවිට මඳ වේලාවක් නිහඬව සිටි ඔහු දුන්නේ මෙබඳු රසාලිප්ත පිළිතුරකි.‘‘අැයි ඉතින් ඔය හැමෝම කියන්නේ මේ පන්සලේ වැඩක් කරන්න යන අයට නාගයෝ බාධා කරනවා කියලනේ.