රනු මොන්ඩාල්ගේ පුතණුවන් කියන කතාව

දුප්පත්කම උපතින්ම උරුම කරගත්තද දුප්පතකු ලෙසම මිය යා යුතු යැයි නියතියක් නොවේ. වාසනාව කොයි මොහොතේ කුමන අයුරකින් මතු වේදැයි නිශ්චිතව කිව නොහැකි වුවත් වාසනාව නිසැකයෙන්ම ජීවිතය උඩු යටිකුරු කරන බව නම් නොරහසකි. රනු මොන්ඩාල් උපත ලැබුවේ දුප්පත්කම අත මිට මොළවාගෙනය. එහෙත් ඈ දෙවියන්ගෙන් ත්‍යාග ලත් පිරිසෙන් අයෙක් වූවාය. අනේකවිධ දුක් ගැහැට මැද වයස අවුරුදු 19ක් තරම් හිරිමල් වියේදීම අෑ සරණ බන්ධනයට ඇතුළත් වූවාය. කුඩා කල සිටම මවුපිය සෙනෙහස අහිමිව ගිය රනු එතැන් පටන් ජීවත් වනුයේ ඉන්දියාවේ ක්‍රිෂ්ණා නගර්හි සිය නැන්දණිය සමඟය. විවාහයත් සමඟ ඇය සිය සැමියාද සමඟ මුම්බායි නගරයට යන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගෙනය.

එහෙත් ඒ සියල්ල උඩු සුළඟට හසුවී බොහෝ ඈතට ගසාගෙන ගියාය. ඈ පැතුවේ යහපත් ජීවිතයකි. එහෙත් ඇයට බොහෝ විට උරුම වී ඇත්තේ මහමඟ දුක්බර ජීවිතයකි. මින් විසි වසරකට පෙර ඈ පෙරළා ඇගේ උපන් ගමට පා තබනුයේ සැමියා අහිමි වූ අසරණියක් ලෙසිනි. එතැන් පටන් ඇගේ ජීවිතය ඇයට පෙරළා පහර දෙමින් උන්නාය. අනේකවිධ දුක් ගැහැට අබිමුව විෂාදය රෝගයේ ගොදුරක් බවට ඇය පත් වූවාය. ජීවිතය කෙතරම් දුෂ්කර වුවද ඈ කන්කලු හඬකට උරුමකම් කීවාය. ඇගේ ගායනයෙන් පිනා ගිය පිරිස් වෙතින් ඈ ලද්දේ යන්තම් ජීවිතය පිරිමසා ගැනීමට තරම් සොච්චම් මුදලකි. දුප්පත්කම බැට දුන්නද ඈ සතු සැනසීම වූයේ ගී ගැයීමයි. ඇගේ ජීවිතය අතිශය විඩාපත් වුවද ඇගේ හඬ කිසිවකුත් විඩාපත් කළේ නම් නැත. ඈ ගී ගැයුවාය. ඇගේ මුව නිතරම ගී පද මිමිණීය. මොහොමඩ් රාෆි, ලතා මංගේෂ්කාර් වැනි පතාක යෝධයන් සංගීතයට ඇලුම් කරන දහස් සංඛ්‍යාවකගේ සිහින ලෝකය වූවා සේම රනුගේ සිහින ලෝකය වූයේද ඔවුන්මය.

ඉන්දියාවේ බෙංගාලිහි නොගාට් දුම්රියපොළේ එදිනෙදා ගමන් ගන්නා දුම්රිය මගීන්ට නම් රනුුගේ හඬ අරුමයක් නොවීය. ඇගේ ගායනාවට ආශා කළ පිරිස් මිට මොළවා ගිය කාසි හැරෙන්නට ඇගේ ගායනයෙන් අෑ ලද්දක් නම් නොවීය. එහෙත් සියල්ල කණපිට පෙරළෙන දිනයක් උදාවනු ඇතැයි රනු නොසිතුවාය. එහෙත් නොසිතන යමක් සිදුවෙමින් ඈ එක් රැයින් සමාජ මාධ්‍යයේ තාරකාවක් බවට පත්වූවාය. නොගාට් දුම්රිය මැදිරියේ අවන්හලකින් ඇසුණේ මොහොමඩ් රාෆිගේ සුමිහිරි ගායනයකි. ඒ අසලම ඇන තියාගත් කාන්තාවක් එම ගීයම සිහින් හඩින් මුමුණනු දුටු තරුණයකු ඔහුගේ ජංගම දුරකථනයෙන් එය පටිගත කරගෙන තිබිණි. ඉන් දින දෙකකට පසු එය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණේ රනුගේ ජීවිතය උඩු යටිකුරු කරමිනි.

ඉන්දීය සමාජ මාධ්‍ය පරිශීලකයන් මොහොතින් මොහොත එය වාර ලක්ෂ ගණනක් හුවමාරු කොට තිබිණි. කා හටත් නොදන්වා බොලිවුඩයේ තරු ගොන්නේ එක තරුවක් වූ හිමේෂ් රෙසමියා ඈ සොයාගොස් තිබුණේ ඉන්පසුවය. පසුව එළැඹියේ රනුගේ ජීවිතයේ සන්ධිස්ථානීය කාලවකවානුවයි. ඈ වටා පැවැති බොහෝ දේ වෙනස්වන්නට පටන් ගැනිණි. හිමේෂ් රනුව කැඳවාගෙන ආවේ ශබ්දාගාරය වෙතය. සමාජජාල හරහා ඇසුණු ඇගේ හඬ සජීවීව පටිගත කෙරිණි. හිමේෂ්ගේ නවතම සිනමා පටයේ ගී කිහිපයක් වෙන්වනුයේ ඇගේ නමිනි. ලතා මංගේෂ්කාර් ගැයූ ගීත ගොන්න අතරින් ‘ඒක් ප්යාර් කා නග්මා හයි’ ගීතය කොල්කටාවේ දුම්රියපොළක ගායනා කළ රනු මොන්ඩාල් මේ වනවිට අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්ව ඇත. එහෙත් පසුගිය දිනවල ඇය බෙංගාලිහි ප්‍රාදේශීය රූපවාහිනි නාළිකා කිහිපයක් සමඟ සිදු කළ සාකච්ඡාවලට නම් එරට ජනයා යහපත් ප්‍රතිචාර දක්වා තිබුණේ නැත.

එරට මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඇය වෛරසයක් සේ සමාජජාල ඔස්සේ පැතිර යවපු වීඩියෝව පිටුපස සිටි පුද්ගලයා පිළිබඳ කිසිවක් පවසා නැත. අතීන්ද්‍ර චක්‍රවර්ති විසි හය වියැති ඉන්ජිනේරුවෙකි. රනු ගයන ‘එක් ප්යාර් කා නග්මා හයි’ ගීතය ඇතුළත් වීඩියෝ පටය සිය ෆේස්බුක් ගිණුම හරහා සමාජජාලා ගතකොට තිබුණේ ඔහුය. ඔහු පිළිබඳ කිසිවක් රනු සිය සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් නොකිරීම නිසා බොහෝ රසිකයෝ කම්පා වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඇය හා කළ සම්මුඛ සාකච්ඡාවේදී ඇය තවදුරටත් පවසා තිබුණේ ප්‍රසිද්ධියට පත් වූ පසු බොහෝ රසිකයන් පැමිණ ඇයව වැලඳ ගන්නේ කිසිදු අවසරයක් පවා නොමැතිව බවයි. “මගේ රසිකයන් මාව සිප වැලඳ ගන්නේ කිසිම අවසරයක් නැතිව. ඔවුන්ගේ ශරීරවලින් නිකුත් වෙන ගන්ධය මට පිළිකුලක්. හරියට මගේ හුස්ම හිර වෙනවා වගේ” දුම්රිය පොළක ගී ගයමින් සිටි ඇයට බොලිවුඩයේ ගායිකාවක් බවට පත්වීමට උපකාර කළ අයට ස්තුති කිරීමටවත් අවශ්‍ය නොවූ බව ඔවුන් වාර්තා කොට තිබිණි. “මම මේ ගමන යන්නේ ඒ අය නිසා නොවේ. මම මෙතැන ඉන්නේ මම අදහන මගේ දෙවියන් නිසා. මට උදවු කරන්න දෙවියන් විසින් තමයි ඔවුන්ව එවලා තියෙන්නේ. ඔවුන් දෙවියන් වහන්සේගේ සේවකයෝ” රනුගේ මෙවැනි පිළිතුරු දීම් හමුවේ සමහරෙක් පුදුමයට පත් වී තිබුණි.

බටහිර බෙංගාලයේ නාඩියා දිස්ත්‍රික්කයේ රනාගට් දුම්රිය වේදිකාවේ ජීවත් වූ රනු බොලිවුඩයේ ගායිකාවක් බවට පත් වීමෙන් පසු ඇය සොයා ආ දියණියක් පිළිබඳව පසුගිය දිනවල පුවත් පළවී තිබිණි. ඇගේ දියණිය එලිසබෙත් සති රෝයි නැවත සිය මව හමුවීමට උත්සාහ දරා තිබුණේ ඇය හා නිතරම සම්බන්ධතා පවත්වන බව පවසමිනි. තම මව දුම්රිය පොළක ගී ගයන බවක් ඇය නොදැන සිටි බව පැවැසේ. මින් මාස කිහිපයකට පෙර කොල්කටාවේ ධර්මතාහි බස් නැවතුම්පොළක වාඩිවී කල්පනා කරමින් සිටි තම මව දුටු එළිසෙබෙත් මුදල් නෝට්ටු කිහිපයක් ඇගේ මිට මොලවා පවසා ඇත්තේ වහා නිවෙසට යන ලෙසයි. සැමියාගෙන් පවා දික්කසාදය ලබාගෙන සිල්ලර කඩයක් කරමින් තම පුතු හා දිවි ගෙවන ඇයට නිතර දෙවේලේ රනු ගැන සොයා බැලීමට අතිශය දුෂ්කර බව හෙළිකොට තිබිණි. එහෙත් ඇයට හැකි සෑම විටම රනුට ජීවත්වීම සඳහා මුදල් යවා ඇත.

“මම තනි මවක්. මගේ පුතා ජීවත් වෙන්නේ මං උපයන මුදලින්, ඒ නිසාම මට ජීවත් වෙන්න අරගලයක් කරන්න සිද්ධවෙලා. මට හැකි පමණින් මා ඇය රැකබලා ගැනීමට කටයුතු කළා. අපි සමඟ ජීවත් වන්න එන්න යැයි මා ඇයට කිහිප විටක්ම යෝජනා කළා. ඒත් මගේ අම්මා අපිත් එක්ක එකට ඉන්න කිසිම කැමැත්තක් දැක්වූයේ නැහැ. අද වෙද්දී මිනිස්සු මට දොස් කියනවා. මහජනතාව මට විරුද්ධ වෙලා. මේ ගැන මම කාට කියන්නද ඉතින්?””ඔවුන් හැසිරෙන්නෙ හරියට අපේ අම්මගේම පුත්තු වගේ. මගේ අම්මව හමුවීමට මම උත්සාහ කළොත් මගේ කකුල් දෙක කඩලා එළියට දානවා කියලා තර්ජනය කළා. අඩු තරමේ මගේ අම්මා එක්ක දුරකථනයෙන්වත් කතා කරන්න මට ඉඩ දෙන්නේ නෑ. මගේ අම්ම මං ගැන හිතන විදිය පවා ඔවුන් වෙනස් කරලා. ඔවුන් මගේ අම්මගේ ඔළුවට විස පුරවනවා අපිට එරෙහිව. මට හරි අසරණ බවක් දැනෙනවා. මොනවා කරන්නද කියලාවත් හිතා ගන්න බැහැ.”

මේ සියල්ල අතරේ බොලිවුඩයේ සුපිරි රංගන තරුවක් වන සල්මාන් ඛාන් ඇයට රුපියල් ලක්ෂ 55ක් වටිනා නිවෙසක් තෑගි කළ බවත්, ඔහුගේ මීළඟ චිත්‍රපටයේ රනු ගී ගායනා කරන බවත් ආරංචි පැතිර ගියත් ඇයට සමීපතම පිරිස් මේ සියල්ල ප්‍රතික්ෂේප කරන බව මාධ්‍ය ඔස්සේ හෙළි කොට තිබිණි. ඔවුන් පවසා තිබුණේ ඇය තවමත් ජීවත් වනුයේ රනාගට් ප්‍රාදේශීය පරිපාලනය විසින් ඇයට ලබාදුන් නිවෙසේ බවයි. ඒ කෙසේ වෙතත් බොලිවුඩ්, බෙංගාලි සහ දකුණු ඉන්දීය සිනමා කර්මාන්තවලින් රනුට දැනටමත් හොඳ ඉල්ලීම් පහළවී ඇත. “දවස් හොඳ හෝ නරක විදියට ගෙවිලා යයි. ඒත් සංගීතය මාව හැමදාම ජීවත් කරවනවා. මම ආසයි ගායනා කරන්න. ඒක තමා මට කරන්න පුළුවන් එකම දේ. ලතාජිගේ ගීත සෑම විටම මට ආස්වාදයක්. ඔහු මාව දැක වීඩියෝවක් රූගත කරන තුරු ජීවිතය දුෂ්කරයි. වසර පනහක් පුරා දුක් ගැහැටවලින් මිරිකුණු ජීවිතයක් ගෙවූ රනු මොන්ඩාල් තම ජීවිතයේ සැදෑ සමයේදී නිවී සැනසිල්ලේ ජීවිතය ගත කිරීමට තරම් භාග්‍යවන්ත වූයේ එලෙසිනි. සවනි ශේෂාධි