ට්‍රම්ප් සමග සිටින දියණිය

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 16 හැවිරිදි ස්වීඩන ජාතික ග්‍රෙටා තොන්බර්ග් සමච්චල් කිරීමට උත්සාහ ගෙන ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. පසුගිය 23 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දේශගුණික වෙනස්වීම් සම්බන්ධයෙන් විශේෂ රාජ්‍ය නායක හමුවක් පැවැත්විණි.

හමුව කැඳවා තිබුණේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගු​ටරේට්ස්ය. ඇමෙරිකාවට පැමිණ සිටින ග්‍රෙටා ඊට සහභාගී වී, ආවේගශීලීව සහ හැඟීම්බරව අදහස් ප්‍රකාශ කළාය. එම අවස්ථාවට ට්‍රම්ප් ද සහභාගී විය. ඒ ගැන ග්‍රෙටාගේ ප්‍රසාදයක් නොතිබුණි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පරිසරය ගැන තැනීමක් කරන අයකු නොවන බව පැවැසෙයි. දේශගුණික විපර්යාසවලට හේතුව මිනිස් ක්‍රියාකාරකම් යැයි ට්‍රම්ප් විශ්වාස ​කරන්නේ නැත.

රාජ්‍ය නායක සමුළුව අවසන් වීමෙන් පසු ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් හරහා ග්‍රෙටා ගැන අදහස් දැක්වීය. ‘ඇය හරිම සතුටින් සිටින ලස්සන මෙන්ම සුන්දර අනාගතයක් ඇති දැරියක්. ඇය දකින්න ලැබීම සතුටක්’ යනුවෙනි. මීට ප්‍රතිචාර දක්වමින්, ග්‍රෙටා ඇගේ ට්විටර් ගිණුමට ට්‍රම්ප්ගේ මෙම වදන් පෙළ එක් කළාය. ඒ, ට්වටර් ගිණුමේ ඇය කවුරුන්දැයි හඳුන්වාදීමටය. ‘මම හරිම සතුටින් සිටින දැරියක්, ලස්සන මෙන්ම සුන්දර අනාගතයක් ඇති.’ යැයි ග්‍රෙටා සිට ට්විටර් ගිණුම හරහා පවසා තිබේ. (රොයිටර්ස්) – ලංකාදීප